Thursday, April 13, 2017

පැරැණි බව සහ අළුත් බව

චීන සටන් කලාව තුළ ඈත අතීතයේ සිට පැමිණි පාරම්පරික දක්ෂතා දහස් ගණනක් පවතී. මෙය සමාජයීය මිනිස් ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයකි. සටන් කලාව තුළ නිශ්චිතවම මෙම පාරම්පරිකත්වය අවධාරණය කිරීමට සිදුවෙයි. එමගින් සමාජගත දැනුමින් දැනුම්වත්වූ සටන් කලා ශිල්පියාට දුබලතා, දුර්වලතා හදුනා ගැනීමට හැකිවේ. පසු දිනයක ඔහු පාරම්පරිකත්වය අභිබවා යමින් නව ශෛලියක් නිර්මාණය කළ යුතු වෙයි. එම ශෛලියද නැවත සමාජගත වෙයි. චීන සටන් කලාවේදී මෙසේ කියවෙයි;

‘‘පැරැණි දෙයට පහර දෙන්න. නැවත නැවතත් පහර දෙන්න. අවසානයේ නව දෙය ඒ තුළින් බිහිවනු ඇත.“

පැරැණි දෙයට පහර දීම යනු පැරැණි දේ අධ්‍යයනය කිරීමයි. නව දෙය බිහිකිරීම යනු පැරැණි දෙයෙහි හරයන්ද, නව නිර්මාණශීලීත්වයක්ද සහිතව නව දෙය බිහි කිරීමයි.

ස්වයංවර්ධනය පිළිබදව කල්පනා කරන්නෙකුට මෙම ක්‍රියාවලිය අතිශයින්ම වැදගත් වනු ඇත. ඒ එය සටන් කලා ශිල්පියා බිහිවීමේ වැදගත්ම කොටසක් වන හෙයිනි.

ඔබේ පැරැණි ජීවන ශෛලිය සලකා බලන්න. එතුළ පවතින සියළු දේ විමසන්න. අනවශ්‍ය දේ ඉවත් කරන්න. වැදගත් දේ නැවත නැවතත් ඇතුළත් කර ගන්න.


උදාහරණයක් ලෙස ඔබේ ජීවිතයේ එක් දිනක් ගැන සිතන්න. පැරැණී ජීවිතයේදී ඔබට බාහිර ශරීරය පවත්වාගෙන යාමට අවශ්‍ය ව්‍යායාම මිස අභ්‍යන්තර ව්‍යායාම කිසිදිනක හමු නොවී තිබෙනු ඇත. නමුත් ඔබ දැන් ඔබේ ජීවන ශෛලිය තුළට අභ්‍යන්තර ව්‍යායාම එකතු කරගෙන ඇත. ඔබේ පැරැණි ජීවන ශෛලියෙන් මිදී වඩා දියුණු ජීවියෙකු වීමේ පදනමක් සකසා ගැනීමේ මාවතට ඔබ පිවිසී ඇත. එසේ නම් ජීවිතයේ සෑම අංශයක්ම මෙසේ දැනුම්වත් ලෙස සකසා ගනිමින් පැරැණි ජීවන ශෛලියෙන් වෙනස් වූ අළුත් ජීවන ශෛලියක් ගොඩනගා ගත යුත්තේ ය. නව ජීවන තා වැදගත් ශෛලිය ඉතා වැදගත් ප්‍රතිඵල ඔබට ලබාදෙනු ඇත. පැරැණි දෙය - සම්ප්‍රදාය වෙනස් කළ යුතු වන්නේ වඩ වඩාත් මානුෂිකත්වය වෙතය. අළුත් බව අප දිනා ගත යුත්තේ ය. එය විසින් ඔබට නව ලෝකයක් දිනා දෙනු ඇත.

බාහිර සහ අභ්‍යන්තර ව්‍යායාම පුහුණුවන අයෙකු නීරෝගිමත්, අභ්‍යන්තර හැකියාවන් සහිත වූවකු වෙයි. නමුදු බාහිර ව්‍යායාම්, බාහිර දක්ෂතා පමණක් පුහුණු වන්නකු බාහිර හැකියාවන් පමණක් ලගා කර ගනු ඇත. අභ්‍යන්තර ව්‍යායාම් පුහුණු කරන්නා නීරෝගිමත්ව, ශක්තිමත්ව වැඩකිරීමේ හැකියාව ලබයි. එසේ නම් ඔහුගේ ජීවිතය උසස් වී ඇත. උසස් ජීවිතයක් ගත කිරීමේ හැකියාව ලැබීම අතිශයින්ම වැදගත් දෙයකි. තම ශරීරය නීරෝගිමත් නොවන අයෙකු මුහුණ දෙනු ලබන ගැටළු සලකා බලමු;

1. කායික ප්‍රශ්න
2. මානසික ප්‍රශ්න
3. සමාජයීය ප්‍රශ්න
4. ආර්ථික ප්‍රශ්න

උදාහරණයක් ගනිමු

ස්නායු අබාධයක් ඇති වී ඇතැයි උපකල්පනය කරන්න. එය ශාරීරිකව වේදනාව ඇති කරවනු ඇත. එය කායික ප්‍රශ්නයකි. එම රෝගී තත්වය දිගින් දිගටම පැවැතීම අපේ සිතට නිරන්තර වදයක් වනු ඇත. එය මානසික ප්‍රශ්නයක් බවට පෙරළෙනු ඇත. සමාජය එම තත්ත්වය මත යම් යම් මැදිහත් වීම් වලදී ඔබව කොන් කරනු ඇත. එය සමාජයීය ප්‍රශ්නයක් දක්වා පරිවර්තනය වනු ඇත. මෙම රෝගී තත්වයෙන් මිදීමට වෛද්‍යවරුන් හමුවී බෙහෙත් ලබා ගැනීමට සිදුවනු ඇත. ඒ සදහා කාලය සහ මුදල් අවශ්‍ය වනු ඇත. එය අවසානයේ ආර්ථික ප්‍රශ්නයක් බවට පත්වනු ඇත.

පැරැණි සම්ප්‍රදායික ජීවිතය වෙනස් කිරීමෙන් මෙම ප්‍රශ්න වලට වඩා හොදින් මුහුණ දිය හැකි නොවේද? ජීවිතය උසස් කරගැනීම අත්‍යාවශ්‍ය දෙයකි.

‘‘සටන් කලාව හා ඒ හා බැදී එන චීන වෛද්‍ය කලාව එහි ඉතිහාසය පුරාම ක්‍රියාත්මක වී ඇත්තේ ඒ වෙනුවෙන් ය.“

“එය මානුෂිකබව වෙනුවෙන් පෙනී සිටී“

සම්ප්‍රදායිකත්වය යනු පැරැණි දෙයට අනුකූලව පවතින සමාජ සිතීමයි. එසේ නම් පැරැණි දෙයට අනුකූල සමාජ සිතීම වෙනුවට අළුත් දෙයට අනුකූල සමාජ සිතීමක් අපි සකසා ගත යුතු වෙයි. එවිට සම්ප්‍රදාය බිද වැටී නූතනත්වය ඇතිවනු ඇත. එම නූතනත්වය තුළ මිනිසාට වඩා යහපත් මානුෂික ජීවිතයක් අත්පත් කරගත හැකිය.

“සටන් ශිල්පියා නිර්මාණය විය යුත්තේ අතීතගත සම්ප්‍රදායික දැනුමට සාපේක්ෂව නොව නව දැනුමට සාපේක්ෂව ය.“  දැනුම බිහිවිය යුත්තේ කෙසේද යන්න අපි මේ වන විට අවබෝධ කරගෙන සිටිමු. එනම්; නව දෙය ලබා ගත හැකි වන්නේ පැරැණි දෙය ගුණාත්මකව වෙනස් කිරීමෙන් ය.

සටන් ශිල්පියා පැරැණි දෙය වටහා ගත යුතුවේ. අතීථයේ සිටම සටන් ශිල්පියා සටන් කලාව යොදාගනු ලැබූවේ අනන්‍යයින් පෙළිමට නොව අන්‍යයින්ගේ හිත සුව පිණිසයි. එසේ නම් සටන් ශිල්පියෙකු බවට පත්වීමට අවශ්‍ය මෙම වැදගත් පාඩම අප හොදින් අවබෝධ කර ගත යුතු වෙයි. උදාහරණයක් නෙ බලමු.

ජාති, ආගම්, කුල ආදී පැරැණි ලෝකයේ උත්පාදන මගින් වර්තමාන ලෝකය පීඩාවට පත්වෙයි. සෑම ජාතියකම සිටින්නේ මනුෂ්‍යයෝ ය. ඔවුන් සියල්ලන්ගේම සිරුරු තුළ පොදු සාමාන්‍ය ජීවන ක්‍රියාකාරීත්වයක් ඇත. ඔවුන් විවිධ පරිසර සහ සමාජ සංස්කෘතික තත්වයන් තුළ පැවැතීම නිසා ඔවුනට විවිධ සමාජීය ක්‍රියාකාරකම් උරුම වී ඇත. නමුත් එකිනෙකා විනාශ කර ගැනීම සදහා මේවා හේතු කර ගන්නන්ද ජාති, ආගම්, කුල අයත් වන පැරැණි ලෝකයටම අයත් වේ. මෙම පැරැණි දෙය නිසා මිනිසුන් පීඩාවට පත්වේ. එම පීඩාවේ තරම දන්නේ එසේ පීඩාවට පත්වූවන් පමණි.

ඔබ තුළ ජාතිවාදී, ආගම්වාදී හැගීම් පවතින්නේ නම්, එසේ වන්නේ පැරැණි ලෝකය ඔබව ශික්ෂණය කර ඇති බැවිනි. එම අදහස් සැකසී ඇත්තේ පැරැණි පීඩාකාරී දේවල් තුලිනි. ඔබ ඔබව නිර්මාණය කර ගත යුත්තේ; එවන් පීඩාකාරීත්වයන් බැහැර කරමින් සැකසෙන නව ලෝකයක මානුෂික බවට සාපේක්ෂව ය. එසේ නම් පැරැණි ලෝකයට ඇද බැද දමා ඇති මෙම අති මානුෂීය බැමි සිද බිද නොදමා අති මානුෂීය දියුණු මිනිසකු බවට පත්විය නොහැක්කේ ය.

“සටන් ශිල්පියාගේ නූතන සටන විය යුත්තේ පැරැණි ලෝකයේ මෙවන් පීඩාකාරී දේ ඉවතලෑමේ සටනයි.“
‘‘සටන් ශිල්පියා පළමුව තමා සමගය“ ලෙස පැරැණි ගුරුවරුන් පැවසූයේ එනිසාය. ඔහු නැවත නැවත සටන් කරයි. පැරැණි දෙය වෙනස් කර නව දෙය බිහි කරනු ලබයි.

‘‘සටන් ශිල්පියා පැරැණි දෙය වෙනස් කර නව දෙය බවට පෙරැළීම යනු මානුෂික වීමයි.“

ඔබ සෑම විටම ඔබේ ජීවිතය පිළිබදව විමර්ශණාත්මක විය යුතු වෙයි. ඔබ තුළින් සෑම විටම පැරැණි ලෝකයේ ගති ලක්ෂණ විද්‍යාමාන විය හැකිය. ඒවා වටහා ගැනීම සහ ගුණාත්මකව වෙනස් කර ගැනීම ඔබ සෑම විටම කළ යුතු වෙයි.

උදාහරණයක් ලෙස කාන්තාවට අපේ සමාජයේ හිමි තැන දෙස බලන්න; නිවසේ වැඩ කටයුතු වලින් වැඩි කොටසක් කරන්නේ අම්මා නොවේද? උදෙන්ම අවදිව සියල්ලන්ම නින්දට ගිය පසු නින්දට යන ඇය සිය ස්වාමියාගේද, දූ දරුවන්ගේද සියලු වැඩ කටයුතු කිසිදු නොරිස්සුමකින් තොරව සිදු කරනු ලබයි. එහෙත් මේ සමාජය තුළ ඇයට රිසි දෙය කළ නොහැකිය. ඇය බැදීමකට යටත්ව සිටී. ඇය පුරුෂාධිපත්‍යයට යටත්ව සිටී. එසේ සිටීමට ඇයට බලකෙරී ඇත.

කාන්තාව මතට මෙම පුරුෂාධිපත්‍යය පැටවෙනු ලබන්නේ ඇග් උපතේ සිටම ය. උපතේදී ගැහැණු ළමයෙකුට ඇන්දිය යුතු ඇදුමේ වර්ණ වෙනසේ පටන් ඇය සිටිය යුතු, හැසිරිය යුතු ආකාරය පවා තීරණය වී ඇත. ඇගේ ඇදුම් ලෙස ගැනෙන ගවුම, සාරිය ඇගේ චලනයන් සීමාකරනු ලබයි. එම චලනයන් සීමා වීම නිසා ඇයට වේගයෙන් චලනය වීමට, ව්‍යායාම් කිරීමට අවස්ථාවක් අපේ සමාජය විසින් ලබා දී තිබේද? එසේම ඇයට කුස්සියට, නිවස තුළට, අම්මාගේ ආරක්ෂාව යටතේ තබන්නේ ඇය හීලෑ කරගනු ලැබීමෙන් පසු පුරුෂාධිපත්‍යයට නැවත පවරා දීමට ය. එයිනුදු ඇය නැවත පීඩාවට පත්වනු ලබයි.

මෙම පැරැණි සමාජයේ පවතින මෙම ස්ත්‍රී පීඩාකාරී පුරුෂාධිපත්‍යයේ ස්වභාවය වටහාගෙන තිබීම සටන් ශිල්පියාගේ ජීවන ශෛලිය හැඩ ගැස්සවීමට සමත් වනු නිසැකය. තම බිරිද, දරුවන් සිය පීඩාකාරී පුරුෂාධිපත්‍යයට යටපත් නොකොට මානුෂික ලෙස සකස් කරගැනීමට ඔහු සමත් වනු ඇත. ‘‘සැබෑ සටන් ශිල්පියා බිහිවන්නේ සිය ජීවන ශෛලිය සැබෑ වෙනසකට භාජනය කිරීම සිදුකළ හතේ පමණි.“

තමා තුළ ඇති පැරැණ ‘මම‘ පරාජය කර නව ‘මම‘ නිර්මාණශීලී ලෙස මතුකර ගත යුත්තේ ය.

සමාජය තුළ පවතින විවිධ පීඩාකාරී ස්වභාවයන්හි පුරුෂාධිපත්‍යය එක් දෙයක් පමණි. සෑම සියළු පීඩාකාරී ස්වභාවයන් පිටු දැකීමට අප උත්සාහ කළ යුතු වෙයි.

විශ්වය චලනයකි. මිනිසා ද එහි එක් චලන විශේෂයක් පමණි. ඔහුගේ චලනයන් කායිකව මෙන්ම මානසිකව ද සංවර්ධනය කිරීම සැබෑ සටන් ශිල්පියෙකු බිහි කිරීමයි.

මනා ලෙස කායිකව සහ මානසිකව පාලනය වූ; දියුණු චලනයන් සහිත තැනැත්තෙකු සටන් ශිල්පියෙකු ලෙස හදුන්වා දිය හැකිය.

ස්වයංවර්ධනය සම්බන්ධයෙන් චීන සටන් කලාවේ මූලික න්‍යායක් වන්නේ; චලන සංවර්ධනය සහ පාලනයයි. අපි උදාහරණයක් ගනිමු; ඔබේ පාදය ඔබට අවශ්‍ය ස්ථානයට එසවිය හැකි නම්, එය අවශ්‍ය පරිදි පාලනයෙන් යුතුව චලනය කළ හැකි නම් කායික චලන පරාසය ඔබගේ වැඩි අගයක් ගනී. කායික චලන වලදී ඔබ අනන්‍යයනට වඩා ඉදිරියෙන් සිටී. එසේම දැනුම පිළිබද ක්ෂේත්‍රයේ දී ද ඔබ ඉදිරියෙන් සිටින්නේ නම්; ඔබට එම දැනුම පාලනයක් ඇතිව ක්‍රියාවේ යෙදවිය හැකි නම් ඔබ අන්‍යයනයනට වඩා දියුණු මානසික චලනයක් ඇති අයෙකුය. සටන් කලාවේ සිදුවන්නේ එයයි. මිනිසුන් අතර සටනකදී වඩා දියුණු, අධිෂ්ඨානශීලී චලන ඇති පුද්ගලයා විසින් නොදියුණු, අධිෂ්ඨානශීලී නොවන තැනැත්තා පරාජය කිරීම සිදුවෙයි. සටන් ශිල්පියෙකු ලෙස සිය කායික සහ මානසික චලන සංවර්ධනය කළ යුතු වන්නේ මේ නිසාය. ඔහුගේ උසස් චලන පරාසයන් නිසා ඔහු සෑම විටම ඉදිරියෙන් සිටිනු ඇත. ලෝකයේ නොදියුනු චලනයන්ගෙන් මිදී ඔහු නව චලනයන් දක්වනු ලබයි.

මෙම ස්වභාවය න්‍යායිකව අවබෝධ කර ගන්නා ඔබ එය අනිවාර්ය ප්‍රායෝගිකත්වයට භාජනය කළ යුතු වෙයි. ඔබට වර්තමානයේදී පැරැණි ලෝකයේ පීඩාකාරී, නොදියුණු දෙය මුණ ගැසෙනු ඇත. එවිට උපක්‍රමශීලී ලෙස එම නොදියුණු චලන පරාජය කිරීම ඔබේ වගකීම හා යුතුකම වන්නේ ය.

චීන සටන් කලාව තුළ පැරැණි කාලයේ පටන්ම ගොඩනැගෙමින් එන මනුෂ්‍යත්වය මතුකරලීමේ ලක්ෂණය අපගේ ජීවිත වලට එකතු කර ගැනීමද අත්‍යාවශ්‍යම වන චලනයකි.  


සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදය විසින් 1995 වර්ෂයේ නිකුත් කල අභ්‍යන්තර අධ්‍යාපන පත්‍රිකාවකින් උපුටා ගැනුණි.

1 comment: