Monday, October 4, 2010

නව සෞඛ්‍යමය ජීවිතයකට කටු සටහනක්.

හැඳින්වීම.

සමාජයක වෙසෙන මිනිසුන් බහුතරයකගෙන් ඉතා සුළු පිරිසක් පමණක් තමන්ගේ 'ශරීරය සහ සෞඛ්‍යය' (Body and Health) අතර සම්බන්ධයක් ගොඩ නගා ගැනීමට සහ ක්‍රියාකාරී මැදිහත්වීමක් ගොඩනගා ගැනීමට සමත්වෙති. එයට අමතරව වෙනත් වෛද්‍ය විද්‍යාවක් පිළිබඳව විශ්වාසය අවිඥාණිකව තැබීමට හුරුවී සිටිති.



සෞඛ්‍යය ගැන යමෙකුට සිතීමට, සැලකිලිමත් වීමට අවශ්‍ය වූ විට එම ඥාණවිභාගය බොහෝ විට තීරණය කරනුයේ සමාජයේ අධිපති කතිකාව විසිනි. බටහිර වෛද්‍ය විද්‍යාව ලංකාවේ සමාජගත වීමට ප්‍රධාන පසුබිම සකසනුයේ ලංකාවේ පාසැල් ආකෘතිය තුළ උගන්වනු ලබන ස්වභාවික විද්‍යාවන් (Natural Science), මගිනි. ශරීරය පිළිබ බටහිර සිතීම් පද්ධතියක්, ක්ෂුද්‍රජීවී  ලෝකය ආදී ජීව ලෝකය පිළිබඳ ක්‍රියාකාරීත්වයත්, ජෛව රසායන (Bio Chemistry) පිළිබඳ මූලික අවබෝධයත් මෙම පසුබිම සපයයි. මෙම සන්දර්භය තුළ විද්‍යාත්මක (Scientific) යන වචනය පෙරදැරි කරගෙන සෞඛ්‍යය උදෙසා වෙළඳපලකරණ වූ ඒකීය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයක් බිහිවෙමින් පවතී. 

මෙයට අමතරව ඉන්දියාව ආශ්‍රිතව ගොඩනැංවුණු 'ආයුර්වේදය'(Ayurweda) ද, චීනය ආශ්‍රිතව ගොඩනැංවුණු චීන පාරම්පරික වෛද්‍ය කලාවද (Traditional Chinese Medicine) වෛකල්පික වෛද්‍ය කලාවන් සේ ගොඩනැංවෙමින් පවතී. 


බටහිර වෛද්‍ය විද්‍යාවේ සීමාවන් හෙළි වෙමින් පවතී. බැක්ටීරියා රෝග වලට (Bacterial Diseases) ප්‍රථිඵලදායි ලෙස සැලකූ විවිධ ඖෂධ වර්ග අද වන විට ප්‍රතිඵල රහිත බැව් අනාවරණය වී ඇත. ක්ලෝරොකුවීන් (Choloro quine) සහ කොමොකුයින් (Chemo Quine) සොයා ගැනීමෙන් පසු මැලේරියාව පෘථිවිය මතින් සහමුලින්ම තුරන් කළ හැකි යැයි විශ්වාස කෙරිණි. මෙම බලාපොරොත්තුව මිත්‍යාවක් බවට පෙරළෙමින් නව ආකාරයකට මැලේරියාව ලෝකය පුරා පැතිරෙමින් පවතී. අද වන විට මැලේරියාවට හේතු වන විෂ බීජ සඳහා ක්ලෝරා ක්විනීන් මඳකින් හෝ ප්‍රථිඵලදායක නොවන බව සොයා ගෙන ඇත. 

එසේම තවත් බොහෝ ඖෂධ රෝග සඳහා ප්‍රයෝජන රහිත බැව් හෙලිවෙමින් පවතී. මේ නිසා බලවත් නව ඖෂධ සොයා යෑමේ පෙළඹවීමක් ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඇතිවී තිබේ. 

ඖෂධ බලවත් වන තරමටම එහි අතුරු ආබාධ (Side Effects) වැඩි වන බැව් පෙනේ. යම් කලක සම්පූර්ණයෙන්ම ආරක්ෂිත යැයි සැලකූ සමහර ඖෂධ හානිකර සහ භයානක බැව් දැන් සොයා ගෙන තිබේ. තැලිඩොමයිඩ් (Thalidomide) හානිකර නොවූ නිද්‍රා ඖෂධයක් ලෙස වරෙක සැලකිණි. ගර්භණී අවධියකදී මෙම ඖෂධය ගැනීමෙන් අස්ථි විකෘතිතා, ශරීර විකෘතිතා, වකුගඩු ගැටළු ලබන දරුවන්ගේ ඇතිවුණි. මෙම නිසා බොහෝ රටවල ඖෂධ වල අතුරු ආබාධ දැඩි සේ සාකච්ජා කරමින් පවතී. 


එසේම රෝග ලක්ෂණ මත විවිධ ඖෂධ වර්ග නියම කිරීම ද මෙම වෛද්‍ය කලාවේ ගැටළුවක් වෙමින් පවතී. වේදනාව නැති කිරීමට වේදනා නාශක ද, ශරීරයේ තාපය ඇතොත් එය අඩු කිරීමට තාපහාරක ඖෂධ ද, මල බද්ධය ඇති විට එය නැති කිරීමට අවශ්‍ය ඖෂධ ද එකවර නියම කිරීම මෙහිදී සිදු වෙයි. මෙහිදී රෝග ලක්ෂන සියල්ලම එකම මූලයකින් යුක්ත බැව් නොසැලකෙන බැවින් සියළුම රෝග ලක්ෂණ වලට වෙන වෙනම ඖෂධ නියම කෙරේ. මෙහිදී අති විශාල පරිමාණයකින් ඖෂධ වර්ග දීමට සිදුවන අතර එම ඖෂධ විසින් සිරුරට ඇති කරනු ලබන අතුරු ආබාධ ප්‍රමාණය අති විශාල විය හැකි වෙයි.


බටහිර වෛද්‍ය කලාවේදී ශරීරය (Body) බෙදුණු, නිදහස් කොටස් වලින් යුක්ත බැව් සැකකෙන අතර එය බෙදා වෙන් කල නොහැකි සමස්ථයක් බැව් නොසැලකෙයි. මෙමගින් විවිධ ශාරීරික කොටස් වලට අදාල විශේෂඥයින් (Specialists) බිහිවීම සිදු වෙයි. අක්ෂි විශේෂඥයින් (Ophthalmologists) ඇස් වලට ද, අස්ථි පිළිබඳ විශේෂඥයින් (Orthopedist) අස්ථි වලට ද ප්‍රතිකාර කිරීම මෙයට උදාහරණ වෙයි.

පෙරදිග වෛද්‍ය කලාවන් තුළ ශරීරය නොබෙදිය හැකි සමස්ථයක් ලෙස සැලකෙයි. මෙහිදී ශරීරයේ කොටසක් නිරෝගීව හෝ රෝගීව අනිත් කොටස් වලින් වෙන්ව තිබිය නොහැකි වෙයි.මෙහි ක්‍රියාමාර්ග වනු‍යේ රෝගියාගේ ශරීරය සමඟ සම්බන්ධයක් ගොඩනැඟීම මිස රෝගය සමඟ සම්බන්ධයක් ගොඩනැඟීම නොවේ. ශරීරයේ රෝග වලට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි කිරීම මගින් රෝග වලින් මිදිය හැකි වන අතර මේ සඳහා සුදුසු ආහාර, ජීවන ශෛලිය, සුදුසු ව්‍යායාම භාවිතා කල හැකිය.

ශරීරය සහ සොබාදහම (Body and Nature) අතර සම්බන්ධය, ශරීරයේ සොබාවික නීති රීති අධ්‍යනය කිරීම මගින් මෙම පෙරදිග වෛද්‍ය කලාවන් ගොඩ නැගී ඇත. මෙම සියළු වෛද්‍ය කලාවන්ගේ ඥාණ විභාගයෙන් ගොඩ නැගී ඇති ආකාරය වටහා ගැනීම යමෙකුට තමන්ගේ ශරීරය, සමාජය සහ සොබා දහම අතර සම්බන්ධය නව ආකාරයකට ගොඩනැංවීමට වැදගත් වනු ඇත.

බටහිර වෛද්‍ය විද්‍යාත්මක ඥාණ විභාගය


බටහිර වෛද්‍ය විද්‍යාත්මක ඥාණ විභාගයේදී ශරීරය වටහා ගැනීම - යාන්ත්‍රික ආකාරයකට සිදු කරනු ලබයි. ශරීරය ගොඩ නැංවී ඇති ආකාරය විවිධ පද්ධති වලට වෙන් කරනු ලැබේ. මෙම පද්ධතීන්ගේ එකතුවකින් සහ ක්‍රියාකාරීත්වයකින් මනුෂ්‍ය ශරීරය (Biological Body) යුක්ත වේ.


පෙරදිග වෛද්‍ය කලාවන් හිදී ශරීරය ශරීරය විශ්වයේ එක කොටසක් ලෙස ද, එය අන්‍ය ක්‍රියාකාරී තත්වයන් සමඟ අන්තර් සම්බන්ධිත සමස්ත පද්ධතියක් බව ද කියවෙයි. මෙහිදී ඥාණ විභාගය ආකාර 03 කට ගොඩ නැංවෙයි.
 මෙහි දී ඥාණ විභාගය ගොඩ නැංවෙන ආකාරයන් අනුව ආකාර දෙකකි.


මෙම අවස්ථා විග්‍රහ කිරීමට චීන වෛද්‍ය කලාවේ භාවිතාවන් අපි උදාහරණයක් ලෙස සලකමු.

 







1. මිනිසා යනු විශ්වයේ එක් පැවැත්මකි. එම නිසා එම පැවැත්ම සිදුවනුයේ එම පද්ධතියේ යම් සමබරතාවයක් මතය. මෙම සමබරතාවය පවත්වා ගැනීම මත මිනිසාගේ පැවැත්ම පවතී. එම නිසා රෝගයක් (Disorder-අසමබරතාවයන්) සෑදුන විට ප්‍රතිකාර කිරීම බටහිර ඥාණ විභාගය වුවද රෝග සෑදීම වැලකෙන සේ කටයුතු කිරීම චීන වෛද්‍ය කලාමය භාවිතාවයි. එම නිසා අවධානය යොමු කරන්නේ අසමබරතාවය (රෝගය) වෙනුවෙන් නොව සමබරතාවය සැලසෙන සේ කටයුතු කිරීමටයි.

2. එසේම චීන වෛද්‍ය කලාවට අනුව පහත සඳහන් ඉන්ද්‍රියන් අතර ගැඹුරු සම්බන්ධයක් ඇත. නමුත් බටහිර වෛද්‍ය විද්‍යා ඥාණ විභාගයේදී ඒවා අතර ප්‍රධාන සම්බන්ධයක් නැත.

I.   අක්මාව,    

II.  හෘදය,    
III. ප්ලීහාව,    
IV. පෙනහළු,    
V.  වකුගඩු 

නමුත් චීන වෛද්‍ය විද්‍යාවට අනුව විශ්වයේ එක් පරිවර්තන න්‍යායකි පංචමූල න්‍යාය (Five Element Theory). චීන මනුෂ්‍යයින් මෙම විශ්වයීය න්‍යායට අනුව ශරීරය පරීක්ෂා කර බලන විට එම අන්තර් සම්බන්ධය ශරීරය තුලද දක්නා ලදී. 



1. පංච මූලයන් (Five Elements) 


I.   දැව           -  WOOD
II.  ගින්දර      -  FIRE
III. පොළොව -  EARTH
IV. ලෝහ      -  METAL
V.   ජලය       -  WATER




පංච මූල න්‍යාය යනු විශ්වයේ පරිවර්තනීය ස්වරූපය සංකේත තුලින් වටහා ගැනීමයි. මෙම සෑම මූලයකින්ම එය සංකේතවත් කරයි.


පංච මූල න්‍යාය (විශ්වය තුල)

පංච මූල න්‍යාය (ශරීරයට අදාලව)




















පංච මූල න්‍යායේ පළමු රූප සටහනට අනුව එය විශ්වයේ සබඳතාවයන් පෙන්වයි. (මෙය ඉන්දියාවේ පංච භූත න්‍යායට ආසන්නව සමාන වෙයි.)මෙහි ප්‍රධාන සබඳතා 3 කි.


1.දැව විසින් ගින්න වර්ධනය කරනු ලබයි. ගින්න නිසා ඇතිවන අළු වලින් පොළොව ඇතිවෙයි.
2.ගස විසින් පොළොවේ සාරය උරා ගනු ලැබේ. විනාශ කරනු ලැබේ.

පසේ තත්වය නැවත ගස් වල වර්ධනය සඳහා බලපානු ලැබේ.

පංච මූලයන් අතර ඉහත සබඳතාවය අපගේ ඉන්ද්‍රියන් අතර සබඳතාවයන් විග්‍රහ කිරීමට චීන වෛද්‍ය කලාව යොදා ගැනිණි.මෙහිදී මනුෂ්‍යා විශ්වය තේරුම් ගැනීමට යොදාගත් න්‍යාය  ශරීරයට ආදේශ කෙරිණි (Micro - Cosmo).


මෙහිදී අක්මාව, හෘදය, ප්ලීහාව අතර පද්ධතිමය සමස්ථමය සබඳතාවයක් ගොඩ නැගේ. අක්මාවේ ගැටළු සහගත තත්වය (Disorder of the Liver) හෘදයේ ක්‍රියාකාරීත්වය යහපත් වීමට අහිතකර ලෙස බලපායි. මඳ කලකට පසු හෘදය එම නිසා (අක්මාව නිසා) වර්ධනීය තත්වයක නොපවතින බැවින් දුර්වල වෙයි. එය ප්ලීහාවට බලපායි.

එසේම අක්මාවේ දුබලතාවය ප්ලීහාවට විනාශකාරී ලෙස බලපායි.

මෙමගින් දීර්ඝකාලීනව අභ්‍යන්තර පද්ධතියම සමතුලිත භාවයන් බිඳ වැටී වෙනත් දෙයක් බවට පරිවර්තනය වෙයි. (රෝගය අසාධ්‍ය වීම සහ මිය යාම) එය එක් සමස්ථය (ජීවි අවස්ථාව) සහ තවත් සමස්ථයකට (අජීවි අවස්ථාව) එක් වීමකි. 

චීන පාරම්පරික සංස්කෘතිය විශ්වයීය නීති රීතින්ට අනුව තම ක්‍රියාකාරීත්වය ‍ගොඩ නංවා තිබේ.

1.ශාරීරික සංස්කෘතිමය ක්‍රියාකාරීත්වය.
2.ආහාරමය සංස්කෘතිමය ක්‍රියාකාරීත්වය.
3.රූප ලාවන්‍යමය සංස්කෘතිමය ක්‍රියාකාරීත්වය.
4.බුද්ධිමය සංස්කෘතිමය ක්‍රියාකාරීත්වය.

මෙම සංස්කෘතීන් විසින් මිනිසා-පෘථිවිය (සමාජය-භූගෝලය) සහ දිව්‍ය ලෝකය (විශ්වය) අතර අන්තර් සබඳතා තේරුම් කිරීම ගොඩනගනු ලබයි. මේ නිසා මෙ සංස්කෘතිය තුල මිනිසෙකුගේ විශ්වයීය ශක්තීන් (Universal Powers) වර්ධනය කරනු ලබන අතර එය එක් සමබර සමස්ථයකට ගෙන එනු ලබයි.

මිනිසා ඥාණාවබෝධය (Wisdom) නැතහොත් අත්දැකීමෙන් (Experience) පටන් ගත යුතු අතර ඥාණ විභාගය (Epistemology) නැතහොත් දැනුම (Knowledge) ද්වීතියික වෙයි.

උදාහරණයක් ලෙස කුඩා කල සිටම විශ්වයීය නීති රීති වලට අනුව පැවැත්ම සංවිධානය කළ යුතු වෙයි. එය නව සංස්කෘතික තත්වයකි. එය නව සමාජ සමස්ථයකි.

පසු සටහන

කේන්ද්‍රයේ රටවල ප්‍රාග්ධනය පරිවාරයේ රටවල සංකීර්ණතා බිහි කරයි. ප්‍රාග්ධන සංකේන්ද්‍රණය සිදුවෙයි. විවිධාකාර වෙනස් කම් වලට ක්ෂුද්‍ර ජීවිතය ලක් වෙයි. මෙ වෙනස් වීම අපගේ අවශ්‍යතාවයන් නොවන විට එම වෙනස්වීම අපගේ පැවැත්ම කෙරේ බරපතල ලෙස බලපානු ලබයි. අකලට වයසට යාම, ශාරීරික දුබලතා, කෙටි ජීවන කාලය මෙහි ප්‍රථිඵල වෙයි. බළලා විසින් මීයා අල්ලා ඇත, තම සීමාවන් තුළ රඳවා ඇත, ශික්ෂණය කර ඇත. ඔබගේ ජීවිතයේ රසය සාදනු ලබන තේ කෝප්පය පිටු පසින් වියැකී යන ජීවිත වල අඳෝනාවට සමස්ථමය ලෙස සිදුකල හැකි වෙනස්කම කුමක්ද.

 අරුණ ශාන්ත.
මෙම ලිපිය  'මාතොට' සඟරාවේ 1999 සැප්තැම්බර් කලාපයේ  පළවු ලිපියකි. 


මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.

2 comments:

  1. අපි අදහස් කලා ඔබගේ වෙබ් අඩවියත් www.horanaapi.com වෙබ් අඩවිය හා එක්කරන්න ඒපිළිබද ඔබේ අදහස අපට ඊමේල් කර එවන්නinfo@horanaapi.com

    ReplyDelete
  2. Hoda wedak yaluwa. mama wing chun karana kenk.matath me lipi godak watinawa.
    BOHOMA STHUTHEI ..

    ReplyDelete