Wednesday, September 15, 2010

මාස්ටර් හායිඩෙංග් සහ පික්සු පොරවල්



ෂඔලින් ආරාමයේ සිට මදුරු කොයිල් දක්වා.....


මෑතක් වෙනතුරුම ලංකාවට නම් ගලාගෙන ආවේ බටහිරින්. ඒ සාහිත්‍ය, දේශපාලනය, සිනමාව යනාදී විෂයන් අදාල කරගෙන. නමුත් දැන් දැන් චීනය දෙසිනුත් අපේ කතිකාවන් තුළට අලුත් නම් ඇතුළුවෙමින් පවතිනවා. මේ දවස් වල අලුතින්ම ඇතුළුවුන නම "මාස්ටර් හායිඩෙංග්". ඒ වූෂු සටන් කලාවට අදාලව. පහුගිය දවස් වල ඔබ දකින්න ඇති මේ නම පදනම් වෙච්ච පත්තර අතිරේක සහ බිත්ති පදාස පුරා ඇලවූ පෝස්ටර්. කවුද මේ මාස්ටර් හායිඩෙංග්? අපි පොඩ්ඩක් ඔහු ගැන විමසල බලමු.



සැප්තැම්බර් මස 24 වෙනි බ්‍රහස්පතින්දා ලංකාදීප පත්‍රයේ හායිඩෙංග් පදනම හඳුන්වා දෙමින් පලවුණු අතිරේකයේ ඔහු ‍ගැන මෙහෙම සඳහන් වුණා.

 'ශාන්ත ගති පැවතුම් වලින් හෙබි හායිඩෙංග් ෂඔලින් ආරාමයේ පාලක මණ්ඩලයේ ප්‍රධානියා විය. ඔහුගේ සුවදුක් බැලීමට, ඔහු සමඟ කථා බහ කිරීමට ලෝකයේ නන් දෙසින් ඇදී ආ සටන් කරුවන් සහ සංචාරකයන් ඔහු පිළිබඳ අරුම පුදුම කතාන්දර පවසති.


 ඝණව තිබෙන අයිස් කුට්ටියක් එක පා පහරකින් සුනු විසුනු කළ හැකි මාස්ටර් හායිඩෙංග් ට තමා වෙත වේගයෙන් එල්ල කරනු ලද කිනිස්සක් අතින් අල්ලා නවතාලිය හැකිලු. පුහුණුවීම් වලදී තම සිසුන්ට නොදෙවෙනි සේ සටන් කළ මාස්ටර් හායිඩෙංග් තරුණයෙකු මෙන් කඩිසර ය. ඔහු මිය ගියේ 1989 වසරේදී ය. මේ ශ්‍රේෂ්ඨ ගුරුවරයාගේ දිවි පෙවෙත සැකසී තිබුනේ අමුතුම පිළිවෙලකට ය. මස් මාලු අනුභව නොකළ හෙතෙම මත්පැන් හෝ දුම්වැටි කිසි දිනක පානය කොට නැත. අලුත් එළවඵ සමග බත් හෝ නූඩ්ල්ස් සිය ප්‍රියතම ආහාරය හැටියට තෝරාගත් ඔහුගේ ජනප්‍රිය පානය එළකිරි ය.


මාස්ටර් හායිඩෙංග් උදෑසන 4 ට අවදි විය. බුදුන් වැඳ ආගමික වතාවත් වල නිරත වූ හෙතෙම ඉන් පසු කෙලින්ම යන්නේ ක්‍රීඩාගාරයට ය. උදේ ආහාරය සඳහා යළිත් තම කුටියට පැමිණෙන්නේ පැය 4 කට පසුව ය.



ඒ පත්තරේ ගිය කථාවයි


ඔහු පිළිබඳව වත් බොහෝ දේ කියන්නට අපටත් තිබෙනවා මම ඉන් එකක් සඳහන් කරන්නම්.

චීනයේ සංස්කෘතික විප්ලව සමයේ (1966-1976) මාස්ටර් හායිඩෙංග් ව බෞද්ධ දර්ශනය තුළ ධනේෂ්වර මාවතෙහි වෙසෙන, විනය විරෝධී හිමි නමක් ලෙස හංවඩු ගසමින් ෂඔලින් ආරාමයෙන් පිටුවහල් කළා. දිනක් රතු හමුදාව විසින් දෑත් පිටුපසට කර බැඳ හිස පහළට ඔබ්බවා චූදිත හමුවකදී ජනතාව ඉදිරියට ඔහුව පමුණුවනු ලැබුවා. 'ඔබලා කරදර වෙන්න එපා' තමාව වට කරගෙන තදින් අල්ලා සිටින තරුණ හමුදා භටයින්ට සිනහමුසුව පැවසූ මාස්ටර් හායිඩෙංග් 'මට ඔබලාගේ කිසිදු උදව්වකින් තොරව මීට වඩා අපහසු ඉරියව්වකින් වුවත් සිටිය හැකියයි' පවසමින් මුළු සිරුරේම තම ඇඟිලි තුඩු දෙකක් මතට ගෙන එමින් දෑතින් සිටගත්තා. මෙයින් පුදුමයට පත්වූ තරුණ හමුදා භටයින් පසුව ඔහුගේ ශිෂ්‍යයන් බවට පත් වුණා.


 වූෂු හැදෑරීමට අපේක්ෂා කරන්නෙකු ඉහත තොරතුරුත් සමඟ සිතෙන්නට පුළුවන් මෙහෙම; " මට පාන්දර 4 ට නැගිටින්න හුරුත් නෑ, දවසට පැය 4 ක් පුහුණු වෙන්න වෙලාවකුත් නෑ, අවුරුදු ගණනක් පුරුදු වෙච්චි අරක්කු/සිගරට් බීම කොහොම අත අරින්න ද? , මේක නම් හරියන වැඩක් නෙමෙයි" කියලා. නමුත් තේරුම් ගත යුත්තක් තිබෙනවා ඒ තමයි සටන් කලා ගුරුවරු විසින් පත්තරකාරයින්ගෙ සිත්තර පත්තර ප්‍රශ්ණ වලට තම සංයුක්ත ජීවිතය භාෂාව තුළ ලඝු කරපුවහම වෙන අලකලංචියක් කියල.


එහෙත් සටන් කලා ගුරුවරු සටන් කලාවේ ආකෘතිවාදය පිළිබඳ අනවබෝධයෙන් තව දුරටත් ක්‍රියා කලොත්; මහා පුරුෂයෙකු වීමේ අරමුනින් තොරව කලාව හැදෑරීමට පැමිණෙන සුළුතරයත් ඉන් ඈත් වේවි. මෙම ලිපියේ අරමුණ සටන් කලාව සමාජගත කිරීමේ සීමාවන් කථා කිරීම නොවුණත් එය තේරුම් ගැනීම අද දවසේ ඉතා වැදගත් කියල මම හිතනවා.


මාස්ටර් හායි‍ඩෙංග් ගෙ ජීවිතය විවේකීව හදරන්නෙකුට වැටහෙනව ඔහු සම්ප්‍රදායිකයෙක් නොවෙයි කියලා. ලංකාව වගේ අන්දමන්ද දූපත්වාසීන් වන අපට ජීවිතය පිළිබඳ කිසිදු විධිමත් සිතීමකට අදාල සම්ප්‍රදායන් නෑ. එය ආහාර, ඇඳුම්, නිවාස වැනි ප්‍රාථමික තත්වයන්ගේ සිට ද්විතියික, තෘතීයික තත්වයන් දක්වා එකම ආකාරයට දිව යන්නක්.


බත් කන්දකට හොදි වත් කර ගන්න අපි, අපි ඉවක් බවක් නැතිව ඉඩක් ලැබුණු හැම වෙලාවෙම මොන මොනව හරි කටේ දාගන්න තමයි පුරුදු වෙලා තියෙන්නෙ. කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේද, ඛනිජ ලවණ එක්ක බටහිර අධිපති ආහාර මතවාදයන් තවමත් අපිට ස්වභාවිකයි. අපි වගේ සමාජයක ලිංගික ජීවිතය ස්වභාවික නිසාම විවාහය උත්තරීතරයි. අවුරුදු 25 හ සම්පූර්ණ වන විටම මුළු සමාජයම උත්සාහ කරන්නෙ කොහොම හරි කොටු කරල බන්දන්න. එහෙම නොවන කෙනා ලෙඩෙක්, පිස්සෙක්, හෝ මැට්ටෙක් කරනවා. නහය, කට ඇරගන ග්‍රැමොක්සෝන් ගහන, ඇස් ආවරණ පැත්තකට දාල ඇස් අරගන වෑල්ඩින් කරන මිනිස්සු ඉන්න රටක, ශරීරය පිළිබඳ විද්‍යාවක් ගැන විමසීමත් විහිළුවක්.  


 මෙවැනි සන්දර්භයක තමයි දවසට එක් වරක් පමණක් ආහාර ගන්න, ලිංගික ජීවිතයෙන් බැහැර වී භාවනාව, ශරීර පුහුණුව, ඉගැන්වීම සහ හැදෑරීම ජීවිතය කර ගත්තු මිනිහෙක්ගෙන්, අපේ සමාජයට ඉගන ගන්න දෙයක් තියෙනව කියල මම විශ්වාස කරන්නෙ. ඒ නිසා තමයි අපි මාස්ටර් හායිඩෙංග් ගැන කථා කරන්න ඕනෙ. එහෙත් මම අහන්න කැමතියි ලංකාවට හායිඩෙංග් පදනම හඳුන්වල දීල, ලංකාව පුරා පෝස්ටර් ඇලෙව්ව ම-නෙල් ධර්ම(කීර්ති) මහත්තයගෙ ජීවිතේ හායි‍ඩෙංග් නිසා කොතෙක් වෙනස් වුනාද කියල. ජීවිතය හදාරල, තම ජීවිතය නිර්මාණශීලීව වෙනස් කරගන්නව කියන්නෙ අමාරු වැඩක්. මිනිසෙකුට එය විශාල අභියෝගයක්. නමුත් අමාරු සියල්ල මකල දාල අවුරුදු 86 ක ඔහුගෙ කැපවුණු , අධිෂ්ඨානශීලී ජීවිතය මත ගොඩනැගුණු සංකේත බලය ප්‍රාග්ධනය ලෙස ලංකාවේ පොළොව මත ආයෝජනය කිරීමේ බිස්නස් එක තමයි ම-නෙල් කරල තියෙන්නෙ. ඒක ලේසි වැඩක්. 


මාස්ටර් හායි‍ඩෙංග් ගෙ මහන්සිය චීනය තුළ අලෙවි කරන ඔහුගේ ගෝලතුමා 'වොං චූවාන්' ඔහුගෙ ක්‍රීඩා පාසැල වෙනුවෙන් මිලියන 200 කට වැඩි ප්‍රාග්ධනයක් ආයොජනය කරල, මෑතකදී ඇමරිකාව ඇතුළු රටවල් 10 ක් සමඟ සම්බන්ධ වෙමින් 'වූෂු' නම් අලුත්ම හුවමාරු භාණ්ඩය අලෙවි කිරීම සඳහා වෙළඳපොල පුළුල් කරමින් ' මාස්ටර් හායිඩෙංග් වූෂු පැසැල' බහුජාතික සමාගමක් බවට පත් කළා. එහි ලංකාවේ කොන්ත්‍රත්තුව බාර ගත්තෙ ම-නෙල්. කිසි දිනක වූෂු විධිමත්ව හදාරා නැති ඔහු එහි අධ්‍යක්ෂකවරයෙක්. බිස්නස් වලට මොන සුදුසකම්ද නේද? 
දශක දෙකකට ආසන්න කාලයක් මේ රටේ වූෂු ක්‍රීඩාව පැවැතියට ජාතික මට්ටමේ ක්‍රීඩාගාරයක් නැති කම විශාල පාඩුවක් නිසා ඒක ඉටු කරනව කියල ම-නෙල්  මහ උජාරුවට පත්තරේට කියල තිබුණ. අනේ ම-නෙල් ගොඩනැගිලි හැදුව කියල හරි, සම්මේලන ඇති වුණා කියල හරි ලංකාවෙ මිනිස් ජීවිත වලට මොනවත් වෙනවද? අනෙක ඔයගොල්ලන්ගෙන් වූෂු ඉගෙන ගත්ත කිසිවෙකුට රට යනව ඇර ගුණාත්මක කිසිවක් නොවෙන බව නම් අපිට ස්ථීරයි. නමුත් ම-නෙල් ඔයාගෙ ජීවිතයට නම් ලොකු දෙයක් වෙලා තියෙන බව පේනවා. 80 දශකයේ මුල් කාලෙ රැවුල වවාගෙන, සෙරෙප්පු දාගන කුරුණෑගල පැත්තෙ ඇවිද ඇවිද හිටිය ඔයා එක පාරටම ටයි කෝට් ඇඳගෙන ලෝකෙ පුරා රස්තියාදු ගහනවා. ඔයාගෙම පෑන් තුඩ සටහන් කළ විදිහට නමේ අගට ප්‍රධාන විධායක අධ්‍යක්ෂක, සභාපති යන කෑලි එකතු වෙලා, ඇමතිවරු සමගත් වැඩ කරන්න ලැබුණු ඔයාට ඒවා ලොකු දේවල් තමයි.
  

අසූ ගණන් වලින් පස්සෙ ඇරියස් අල්ලන්නත් එක්ක ලෝකෙ පුරා කරක් ගහල, නමක් හදාගෙන සල්ලි ටිකක් එකතු කරගෙන සැපට ජීවත් වෙනව කියල අරගෙන තියෙන තීරණය 'වූෂු ක්‍රීඩාවේ උත්තරීතර පරමාර්ථයන් සාක්ෂාත් කරගැනීම' කියන භාෂා සංකේත වලින් අයිසින් කිරීම ලංකාවේ වෙන කාට නොතේරුනත් අපිට නම් හොඳට තේරෙනව. තම තමන් එක්ක ආඩම්බරේට' කලාකාරයෙක්' කියල කියන හැම එක්කෙනාම දැන් කාලෙ කරමින් ඉන්නෙ ඒ ගොල්ලො උත්තරීතරයි කිව්ව 'කලාවම' විකුණන එක තමයි. සටන් කලාවත් පරිඝණක තිරයක් මත වීඩියෝ ගේම් එකක් බවට පත්වෙලා තිබෙන තතු යටතේ ඔයගොල්ලන්ට හායිඩෙංග්ලගෙ හයිය විකුණනව අර වෙන ලොකු දෙයක් කරන්න හයිය නැති බව අපි දන්නවා.

චමිල් රුවන්ත
මෙම ලිපිය 'මාතොට' සඟරාවේ 1998 දෙසැම්බර් කලාපයේ පළවූ ලිපියකි.


මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.

1 comment: