Friday, September 3, 2010

වූෂූ සහ ජීවිතය



'මිනිසා ජීවිතය ගැන පවා දන්නෙ ටිකකි.
   මරණයෙන් එහාගැන සිතන්නේ මන්ද?'
"කොන්ෆියුසියස්"

 'බඳුනක ඇති ජලයට ඇඟිල්ලෙන් පහරක් දෙන්න. පැන නගින ජල බුබුල ජීවිතය බඳුය. ඇඟිලි පහර දිව්‍ය ලෝකයේ (විශ්වයීය ස්වභාවය) ශක්තිය  (Yang) ද ජල බඳුන පෘථිවිය (සමාජ ස්වභාවයේ) ශක්තිය (Yin) ද නිරූපණය කරයි.'
"තාඕ දහම"



 


'තාඕවාදී කලාව යනු කෙළවරක් නැති උස් පහත් වෙමින්, තාවකාලිකව නිශ්චල රළ ඇතිකරමින් වෙනස් වෙමින් නොකැඩී ගලා යන්නා වූ දැලකි. එය දෙස බලා සිටින අය ද එම දැලෙහි (ඉන් වෙන් කළ නොහැකි වූ) කොටස් කරුවෝ වෙති. එය නොනැවතී , ආපසු නොහැරී යයි.'

"ඊ-චිං (The book of change)

1. වූෂු න්‍යායාත්මක පදනම. මිනිස් වර්ගයා ස්වභාව ධර්මයා මතට පිට කළ ශ්‍රම ශක්තිය මගින් සංස්කෘතිය ජනනය වෙයි. එය නැවත මිනිස් වර්ගයාගේ ජීවිතය ගොඩනංවනු ලබයි (Constructed nature of life). විවිධ ජාතික රාජ්‍යයන් පාදක කොටගෙන බිහිවූ මෙම සංස්කෘතීන්ගේ ස්වභාවයන් පිළිබඳ අධ්‍යයනය කිරීම ජීවිතය ගොඩනැංවීම පිළිබඳ අදහස වර්ධනය කිරීමට වැදගත් වෙයි.


ශ්‍රී ලංකාව නැමැති දූපතට ප්‍රධානව බලපා ඇති ඉන්දීය මහා සංස්කෘතිය ද, චීන මහා සංස්කෘතිය ද, බටහිර සංස්කෘතිය ද අද්‍යයනය කිරීම වැදගත් වෙයි. ජීවිතය පිළිබඳ චීන සිතීම පිළිබඳ සෙවීමේදී චීන මහා සංස්කෘතිය උත්පාදනය කළ සංස්කෘතිකාංග අතුරින් සටන් කලාව (Martial Art-Wushu) නම් ව්‍යුහය හමුවෙයි.


පැරැණි චීනයේ ආගම, දර්ශනය, චීන පාරම්පරික වෙදකම, නැටුම්, සංගීතය, කලා ශිල්ප, විවිධ පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර සහ චීන සටන් කලාව (වූෂු) ව්‍යුහගතවීම

A. ඉරියව් පුහුණුවීම් සහිත ව්‍යායාම.
B. ශාන්තදායක මානසික අවස්ථා සහිත මිනිස් චර්යාවන්.
C. මරණයට පත් කළ හැකි නිලස්ථාන පිළිබඳ විද්‍යාවන්.
D. කඩුව, හෙල්ල, කසබ්, පොල්ල ආදී සටන් කලා ආයුධ.
E. විෂ ශරීරගත කිරීම.
F. තායිචී චුවාන්
G. කන්ෆියුසියස් පාසැල් වල නැටුම්.



චීන මහා සංස්කෘතිය තුළ ආගම, දර්ශනය, චීන පාරම්පරික වෙදකම, නැටුම්, සංගීතය, කලා ශිල්ප, විවිධ පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර සහ චීන සටන් කලාව (වූෂු) එකිනෙක අන්තර්සම්බන්ධිතව, අන්තර්පෝෂිතව වර්ධනය වුණි. මේවා ජීවිතය නම් අදහස් සමූහය ගොඩනැංවීමට පාදක වන අයුරු විමසා බැලීමට යාමේදී මෙම අන්තර් ව්‍යුහ එකිනෙක මත බලපා ඇති අන්දම විමසිය යුතු වේ. චීනය පිළිබඳව හැදෑරීමේදී කියවීම් වඩා පරිපූර්ණත්වයට පත්කර ගත හැක්කේ එමගිනි. චීන පාරම්පරික දැනුම් පද්ධතිය ගොඩනැංවී ඇති සංකේත පද්ධතිය මිත්‍යාමය අඛ්‍යානයන් බවට වෙනත් සංස්කෘතික කලාපයක් තුළ කරවීම වලක්වා ගත හැක්කේ එසේ මහන්සි වීමෙනි.


ජීවිතය පිළිබඳ අදහස චීන සටන් කලාව (Wushu) තුළ කියවීමේදී මූලික අදහස් දෙකක් හමුවේ.



 මෙම විනාශ කිරීම සහ ගොඩනැංවීම පිළිබඳ අදහස් විවිධ භාවිතාත්මක තත්වයන් තුළ වර්ධනය වූ දේවල් වේ. මෙහිදී ගොඩනැංවීම නම් අදහස භාවිතාත්මක තලයක තබා විමසමු. 




ගොඩනැංවීම පිළිබඳ අදහස බාහිර සහ අභ්‍යන්තර ලෙස දෘෂ්‍යමාන සංඝටක ගොඩනැගීම, අදෘෂ්‍යමාන සංඝඨක ගොඩනැංවීම ලෙස දිව්‍ය ලෝකය (Universe) සහ  පෘථිවිය (Society)ලෙස සලකා බැලෙයි. මෙම අදහස ශාරීරික පදනමක සිට විශ්වයීය පදනමකට වර්ධනය වන ආකාරය දෙස බලන්න.



ශරීරයේ දෘෂ්‍යමාන සංඝඨක සහ ශරීරයේ අදෘශ්‍යමාන සංඝඨක එකතු වන විට එහි චිත්ත ශක්තිය (Yi) පැන නගී. මෙම චිත්ත ශක්තිය සමාජය සමඟ පවත්වනු ලබන අන්තර් සබඳතාවයේ දී ආත්මීය ස්වරූපය (Shen) බිහිවෙයි.


සිරුරේ දෘෂ්‍යමාන සංඝඨක (Visible Elements) සහ අදෘෂ්‍යමාන සංඝඨක (Invisible Elements) පුහුණු කළ යුතු වේ. එය චිත්ත ශක්තියේ ගොඩනැංවීමට හේතු වේ (Formation of Yi). එම චිත්ත ශක්තිය නැවත පුහුණු කළ හැකි වේ. එය යී ගොන්ග් හෙවත් භාවනාව (Yi gong - Madetation) මගින් සිදු කරනු ලබයි. මෙහිදී භාෂාමය මැදිහත්වීමක් සහිත දක්ෂතා සහ භාෂාමය මැදිහත් වීමක් රහිත දක්ෂතා ලෙස වර්ග දෙකකි. ඉන් පසු මෙම සමස්ථ ස්වරූපය සමාජය සමඟ අන්තර් සබඳතා පවත්වයි. මෙම අන්තර් සබඳතා‍වයේදී ආත්මීය ස්වරූපය (Shen) බිහිවෙයි. මෙම ආත්මීය ස්වරූපය සෙන්ග් ගොන්ග් (Zheng gong) මගින් පුහුණු කරවනු ලබයි. සමාජය සමඟ පවත්වනු සෙන්ග්ගොන්ග් දක්ෂතාවයන් ට දර්ශනය (Philosophy), චීන පාරම්පරික වෙදකම (Traditional Chinese Medicine), චීන සටන් කලාව (Wushu) ඇතුළත් වේ. එමගින් ගොඩනැංවීම සහ විනාශ කිරීම අන්තර් සම්බන්ධිත වේ.



චීන දර්ශනයේදී බොහෝ විට සමහරු සොබා දහමට (Nature) පක්ෂ වූ අතර සමහරු සංස්කෘතියට (Culture) පක්ෂ වූහ. මහායාන (Zhen or Chen), බෞද්ධ දාර්ශනිකයින් - මුල් ස්වරූපය, ශුද්ධ ස්වරූපය, බුද්ධත්වය සොයා ගියහ. තාඔයිස්ට් දාර්ශනිකයින් තාඕ (Tao) නැතහොත් තායිචී (Thaiji) නැතහොත් මුල් අවස්ථාවට පත්වීම අපේක්ෂා කළහ.

සමහර කන්ෆියුසියස් දාර්ශනිකයින් සංස්කෘතියට පක්ෂ වූහ. ඔව්හු ස්වභාව ධර්මයට පක්ෂ වූවන් විවේචනය කළහ. බොහෝ විට දක්නට ලැබුනේ අතර මැද ස්වරූපයකි.

විශ්වයීය ස්වරූපයකට ශරීරය පුහුණු කරවීම මෙහි ප්‍රධාන අරමුණක් විය. බොහෝ සංස්කෘතීන්හි දී ජීවිතය නැමැති ගොඩනැංවීමට හමුවන්නේ සමාජ පුහුණුවීම් (Social practise) පමණි.

චීනයේ පැරැණි මිනිසුන්ගේ වැඩ කිරීම් කාලය බෙදා දැක්වුන (චීන වෛද්‍ය ග්‍රන්ථ වලට අනුව) ආකාරය සලකා බැලීම මත ජීවිතය සමාජයීයව සහ විශ්වයීයව ගොඩනැගුණු ආකාරය සිතා ගත හැකි වේ


දැනටත් නිදා ගැනීම සම්බන්ධයෙන් චීන සමාජය පැය 8 කට කිට්ටු කාලයක් වැය කරයි. සමාජයීය සුවරූපය පමණක් පවත්වා ගැනීම තුළ බොහෝ කෙටි කාලයක් තුළ දරුණු ආකාරයේ රෝග ආබාධ වලට - ශාරීරික ගැටළු වලට හේතු ‍වෙයි.

විශ්වයීය ස්වරූපය පවත්වාගන යාම පුහුණුවීම ප්‍රධාන න්‍යායාත්මක පදනම් කිහිපයක් මත ගොඩනැංවී තිබේ. මෙම ගොඩනැගීම් ජීවිතයට සාර්ථකව යොදා ගැනීම භාවිතාව මත ඔප්පු වී තිබේ. මෙම න්‍යායාත්මක පදනම් පිළිබඳව අවබෝධ කර ගැනීම ජීවිතය පිළිබඳව නව ආකාරයක සිතීමකට මඟ පෙන්වා ගැනීමකි.


01. අඛන්ඩ එකඟතාවය පිළිබඳ සංකල්පය.


පාරම්පරික චීන සිතීමට අනුව විශ්වය සහ මිනිස් වර්ගයා එක් ඓන්ද්‍රීය සමස්ථයක් වේ. අන්තර් සම්බන්ධිත වේ. මිනිස් වර්ගයා තම පරිණාමීය ක්‍රියාවලියේදී ස්වභාව ධර්මය සහ එහි රහස් සඳහා ගෙන ගිය අරගලයේදී පැන නැගුණු මෙම විශ්වය සහ මානව වර්ගයා එකම ඓන්ද්‍රීය සමස්ථයකි යන්න විශ්ව විද්‍යායවන් ට වැදගත් දෙයකි. මෙම සංකල්පයේ ප්‍රධාන පැති කිහිපයකි.


I. මිනිසා ස්වභාව ධර්මය තුළින් උත්පාදනය වී ඒ සමඟ ඓන්ද්‍රීය     සමස්ථයක් සාදයි.


විශ්වයේ සියළු ක්‍රියාවලීන් අතර සම්බන්ධය චී (Qi) මගින් ඉටු  කරයි. චිගොන්ග් (Qi gong) ආදී අභ්‍යන්තරික ව්‍යායාම් වලදී සිදු  කරනුයේ මෙම සබදතාවය ශක්තිමත් කිරීමකි. ස්වභාව ධර්මයේ වෙනස්  වීම් වල විවිධත්වය මිනිසාට බලපානු ලබයි. එම බලපෑම සමග ගණුදෙනු  කිරීම චිගොන්ග් ව්‍යායාම් වල ක්‍රියාකාරීත්වය යි.



II. ස්වභාව ධර්මයේ කොටසක් ලෙසට මිනිස් ශරීරය විශ්වයීය හැඟවුම ලබා ගැනීම.

මිනිස් ශරීරය එහි සංවර්ධන ක්‍රියාදාමයේදී - විශ්වය සමග අන්තර් සම්බන්ධිත ක්‍රමයක් බිහි කරගෙන තිබේ. මෙය ශරීරය තුළ කුඩා විශ්වය (Mini-Universe)  ලෙස හඳුන්වනු ලැබේ. මෙහිදී හිස කොටස දිව්‍ය ලෝකයට (Heavn) ද, ආමාශය පෘථිවියට (Earth) ද, හෘදය ගින්නට (Fire) ද, අක්මාව දැව (Wood) ද, වකුගඩු ජලයට  (Water) ද ආදී ලෙස සැකසී ඇත. ඉහත දක්වා ඇත්තේ විශ්වයීය ස්වරූප විස්තර කල චීන සංකේත ව්‍යුහයේ කොටසකි. 

III. මිනිස් සිරුර ඓන්ද්‍රීය සමස්ථයක් වන විට එහි කොටස් එකිනෙකට  අන්තර් සම්බන්ධිත වේ.

ශරීරය බාහිරව සහ  අභ්‍යන්තරිකව එකිනෙකට සම්බන්ධිත වේ. එක් ඉන්ද්‍රියක් අනෙක් ඉන්ද්‍රිය සමග  සබැඳෙයි. ක්‍රියාකාරීත්ව‍යේදී එකිනෙක මත බලපායි. උදා:-එක් කොටසක් නොව මුළු ව්‍යුහයම යන්න මින් ගම්‍ය වේ.

IV. කොටසක් සමස්ථය පෙන්නුම් කරයි.


'එක් කෙස් ගසක් උදුරා ගන්න එය මුළු සිරුරටම බලපායි.' යනුවෙන් කියමනක් තිබේ. ශරීරයේ එක් කොටසකින් මුළු ශරීරය ගැන කිව හැකියි. උදා:- මිනිස් කණ පිහිටා ඇත්තේ මව් කුස තුළ වැඩෙන කලලය අනෙක් පැත්ත හැරවූ විලාශයකිනි. මුළු සිරුරටම බලපාන සේ කර්ණ කටු චිකිත්සාව (Auriculartherapy) සිදු කරනුයේ මීට අනුව ය.






02. යින් සහ යාන් න්‍යාය (Yin and Yang)



චීන පාරම්පරික වෙදකමෙහි මුල් ගල වන වන මෙම න්‍යාය විශ්වය ප්‍රතිවිරෝධයන්ගේ එකතුවක් ලෙස දකියි. චලනය සහ නිශ්චලතාවය, දහවල සහ රාත්‍රිය, ජීවිතය සහ මරණය ආදී ලෙස වෙයි. මෙය මිනිසා විසින් විශ්වය තේරුම් ගැනීමට යාමේදී ගොඩනැගුනකි. සෑම දෙයකම මෙම යින්ග් (Yin) සහ යාන්ග් (Yang) ප්‍රධාන ප්‍රති විරෝධතා දෙක පවතී. යින්ග් සහ යාන්ග් ස්වරූපය චීන සිතීම තුළ පහත පරිදි දැක්වේ.


යින් -  ඇතුළත, අභ්‍යන්තර, දුබල, සෙමින්, අඳුරු, සීතල ලෙස
යාන්ග් - මතුපිට, බාහිර, බලසම්පන්න, වේගවත්, දීප්තිමත්, උණුසුම් ලෙස

යින් සහ යාන්ග් ස්වරූපය පැන නගිනුයේ සාපේක්ෂභාවය තුලිනි. සෑම දෙයකම මෙම ද්විපාර්ශවය නිරූපණය වෙයි. උදා:- කන්දක් ගන්න එහි යාන්ග් පැත්ත ඉරට මුහුණ දෙයි. දීප්තිමත් සහ උණුසුම් වෙයි. යින් පැත්ත සෙවනැලි සහිත අඳුරු සහ සිසිල් වේ.

ශරීරයේද මෙම Yin - Yang ස්වරූපය ඇත. ශරීරයේ බාහිරය Yang වේ. අභ්‍යන්තරය Yin වේ. ශරීරයේ තාපය Yang වේ. ශරීරයේ සිසිලස Yin වේ.

චී (අභ්‍යන්තර ශක්තිය) පවා මේ න්‍යාය අනුව කොටස් වේ යාන්ග් චී - yang Qi මිනිසාගෙන් බාහිරව ද යින් චී - Yin Qi ශරීරය තුළ ද ඇත. මෙහි මනා සමබරතාවය ඉතා වැදගත් වේ.

ශරීරය තුළ චී - Qi ගමනාගමනය මෙන්ද ශරීරය සහ බාහිරය අතර චී - Qi සමබරතාවය  සහ ගමනාගමනයද වැදගත් වේ.

යින් සහ යාන්ග් න්‍යායේ ලක්ෂණ එකිනෙක මත කිට්ටු සම්බන්ධයක් දක්වයි.

a. එකක් අනෙක රහිතව පැවැතිය නොහැකිය. ප්‍රාදූර්භූත විය නොහැකිය.
b. එකිනෙක එකිනෙක බවට පරිවර්තනය වෙයි.
c. දෙක එකිනෙක සමඟ පූර්ණව පුතිවිරුද්ධ වෙයි.
d. Yang තුළ Yin ද Yin තුළ Yang ද අඩංගු වෙයි.

මෙම Yin  සහ Yang ස්වභාවය චීන සංස්කෘතිය තුළ හඳුන්වන ප්‍රධාන ආකාර කිහිපයකි.

ජීවිතය පිළිබඳ මහේක්ෂ - Macro පැහැදිලි කිරීම් වන අඛන්ඩ එකඟතාවය පිළිබඳ සංකල්පය සහ Yin-Yang න්‍යායෙන් පසු ශරීරය සහ එහි කොටස් අතර සබඳතා විග්‍රහ කරනු ලබන ප්‍රධාන න්‍යායාත්මක පදනම් දෙකක් ලෙස පංච මූල න්‍යාය සහ අෂ්ඨ මූල න්‍යාය වූෂු කලාවේ ප්‍රධාන තැනක් ගනී.

03. පංච මූල න්‍යාය - Five Elemant Theory 

සොබා දහමේ මූලික ස්වරූපයන් දැක්වීමට සංකේත පාවිච්චි කිරීම චීන භාවිතාවන් තුළ දක්නට ලැබේ. දැව - Wood, ගින්න - Fire, පොළොව - Earth, ලෝහ - Metal, ජලය - Water මෙම ප්‍රධාන මූල පහයි. මෙම මූල ප්‍රධාන ආකාර දෙකකට සබැඳේ.


1. සෙන්ග් චක්‍රය - ජනනාත්මක චක්‍රය (Sheng Circle)
2. කෝ(ර්) - පාලන චක්‍රය(Core Circle)


පංච මූල න්‍යාය ශරීරයට යෙදූ විට එය ප්‍රධාන ඝන ඉන්ද්‍රියයන් (අක්මාව, හෘදය, ප්ලීහාව, පෙනහළු, වකුගඩු) සමඟ සබැඳේ. ඉන්ද්‍රියයන්ගේ රෝග වලදී එක් ඉන්ද්‍රියයක් එයින් අනෙක් ඉන්ද්‍රියය ගොඩනැගීම ද(Sheng Circle) එක් ඉන්ද්‍රියයකින් අනෙක් ඉන්ද්‍රියය පාලනය කිරීම ද (Core Circle) යන දෙයාකාරයම ක්‍රියාත්මක වේ. මෙය චීන පාරම්පරික වෙදකමේ (Traditinal Chinese Medicine) කටු චිකිත්සාවේදී, සම්භාහන චිකිත්සාවේ (Massotherapy)  සහ වූෂු ව්‍යායාම් (Wushu - Wu Gong) වලදී භාවිතා කරයි. මෙය බාහිර ලෝකය සමඟ යෙදූ විට ඉතා පුළුල් න්‍යායක් වේ. සෘතු, වර්ණ, රස, හැඟීම්, සමග පවා මෙය විග්‍රහ වේ.

04. අෂ්ඨ මූල න්‍යාය - Eight Digram Theory  

මිනිසා සහ විශ්වය අතර සබඳතාවයන් විස්තර කිරීමට යොදා ගැණුනු වැදගත් න්‍යායකි. පා කුවා චුවාන් (Pa Kua Quan or Ba gua Quan) නම් අභ්‍යන්තර සටන් ශෛලිය මෙම න්‍යාය මත පදනම් වෙයි. විශ්වයේ ක්‍රියාකාරීත්වය නැතහොත් වෙනස්වීම පැහැදිලි කර ගැනීමට මෙම රූප සටහන් එකට යොදා ගැනේ. මෙම අෂ්ඨ මූලයන් එකිනෙක 64 ආකාරයකට සබැඳීම ඊ-චිං (I Chin or Book of Changes) නම් සුප්‍රකට ග්‍රන්ථයේ දැක්වේ. දේශපාලනය, යුධ කලාව, ආදී සහජ ව්‍යුහයන් තුළ මෙය ප්‍රධානව යොදාගෙන තිබේ. මෙහි මහේක්ෂ තලය Yin සහ Yang ක්‍රියාකාරීත්වයයි.



05. පථ සහ අනුපථ න්‍යාය-Jing-Luo Theory  

මෙය චීන පාරම්පරික වෙදකමේ වැදගත්ම න්‍යායන්ගෙන් එකකි. ශරීරය තුළ චී (Qi), නැතහොත් අභ්‍යන්තර ශක්තිය (Inner Energy), නැතහොත් ජීව ශක්තිය, නැතහොත් අදෘශ්‍යමාන සංඝටක වල චලනය සිරස් අතට වීම චින්ග් -Jing (පථ) නමින්ද, එම චලනයම තිරස් අතට වීම ලුඕ - Luo (අනුපථ)නමින්ද මෙම න්‍යාය තුළ පැහැදිලි කෙරෙයි. මෙම පථ සහ අනුපථ එකට හමුවන ස්ථාන වල නිලස්ථාන (Accu-Points) පිහිටා ඇත.


 චීන කටු චිකිත්සාවේ දී (Chinese Acupuncture), සම්භාහන කලාවේ  (Masso Therapy) දී, නිල සම්භාහන චිකිත්සාවේ (Pointing Therapy)දී භාවිතා කෙරෙනුයේ මෙම න්‍යායයි. මෙම න්‍යායට අනුව ශරීරය ප්‍රධාන පථ (Jing) 14 කට බෙදා ඇත. මෙම පථ වලින් 12 ක් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් හා සම්බන්ධ අතර ඒ සියල්ල චක්‍රීයව සම්බන්ධ වේ. ඉතිරි ප්‍රධාන පථ දෙකපිහිටා තිබෙන්නේ ශරීරයේ ඉදිරිපස මධ්‍ය රේඛාව (Ren Channel) වන සහ ශරීරයේ පිටුපස මධ්‍ය රේඛාව (Du Channel) ලෙසිනුයි.



මෙම පථ සහ අනුපථ වල (Jing-Luo) චී ගමනාගමනයට බාධා සිදුවීමෙන් ශරීරය අසමබර වේ (චීන පාරම්පරික වෛද්‍ය කලාවට අනුව එම වෛද්‍යවරු ශරීරය රෝගී වනවා යනුවෙන් නම් කරන්නේ නැත.). එය පැහැදිලිව කිවහොත් ශරීරයේ Yin සහ Yang වල අසමබර වීමකි. මෙම අසමබරවීම ඉවත් කිරීමට චීන ඖෂධ වෙදකම (Chinese Herbal Medicine), චීන කටු චිකිත්සාව භාවිතා කර ශරීරයේ Yin සහ Yang සමබරතාවය ඇති කරනු ලැබේ.

චිගොන්ග් (Qi gong - අභ්‍යන්තර ශක්ති ව්‍යායාම්) වලදී ශරීරයේ මෙම පථ සහ අනුපථ වල චී (අභ්‍යන්තර ශක්තිය) මනාව ගලා යාමට සලස්වයි. චී ශරීරයේ වැඩි කරවයි. එය එක්තරා අවස්ථාවක දී ශරීරයෙන් එළියට පැමිණෙයි.වායි චී (Wai Qi) ලෙස එය හැදින්වෙයි.



චිගොන්ග් මාස්ටර්වරයෙකු මෙම වායි චී (Outer Flowing Vital Enargy) සතුරාගේ අභ්‍යන්තර ශක්ති ශරීරයට පහර දීමට ද, ශරීරයේ අසමබර අවස්ථා වලදී එය සමබර කිරීමට ද යොදා ගනු ලබයි.
 

අභ්‍යන්තර සටන්කලාවන් හිදී පහර දෙනුයේ මෙම නිලස්ථාන වලට ය. එම නිලස්ථාන වලට යම් සැකසුමක් අනුව (Formula) පහර දීමෙන් අභ්‍යන්තර ශක්ති ශරීරයට හානි සිදුවේ. මෙම පහර දීමට ශරීරයේ චී හැකියාව වර්ධනය කළ යුතු ය.

අභ්‍යන්තර ශක්ති සටන් කලාවන් මෘදු, ගලායන සුලු ආකාරයක් ගන්නේ එහි ප්‍රධාන ක්‍රියාකාරීත්වය සිරුරේ අදෘෂ්‍යමාන සංඝඨක (Invisible Elements of Body) සමඟ සබැඳෙන හෙයිනි. එසේම එම සටන් කලා වල අත් පහර, පා පහර ආදී ලෙස නිශ්චිත විභේදනයන් රහිත වනසේ පුහුණුවේ යෙදෙන්නේ ද එහෙයිනි. බාහිර සටන් කලාවන් හිදී යොදා ගැනෙනුයේ ශරීරයේ අස්ථි-රුධිරය-මාංශ පේශි වල ශක්තිය යි. (මෙහිදී බාහිර ශක්තිය යොදා ගැනේ.)


විශ්වයීය ස්වරූපය සමාජ ස්වරූපය තුළද දක්නට ලැබෙයි. සංකීර්ණ සමාජයක ජීවිතය නම් අදහස වර්ධනය කිරීමට සමාජ ස්වරූපයේ සහ විශ්වයීය ස්වරූපයේ සමබරතාවය සලකා බැලිය යුතු ප්‍රධාන දෙයකි.


අරුණ ශාන්ත.
 මෙය 'මාතොට' සඟරාවේ 1998 අප්‍රේල් කලාපයේ පළවූ  ලිපියකි.



මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.

1 comment:

  1. කරන්නන් වලේ වුෂු කරන්නේ නැතිව හරය දැනගෙන වුෂු කරන්න අපිට මේක අත්වැලක් .දිගටම ලියන්න ,එක්කෙනෙක් වත කියවල තේරුම ගත්තොත් තව හොරු බිහිවෙන එක නවතීවි!ජයවේවා !

    ReplyDelete