Thursday, September 16, 2010

සටන් කලාවක අසිරිය

සෑම ගොනෙකු සහ අශ්වයකුම උපදින්නේ නිදහස්ව ය. නමුත් දක්නට ලැබෙනුයේ ලණු සහිතව ය. චීන දාර්ශනික ලා ඕ සූ (Lao tzu) එසේ පවසා තිබේ. 

චීන සටන් කලාව දාර්ශනික ලෙස  හරයාත්මක ගැඹුරක සිට අධ්‍යයනය කරන්නට යන්නෙකුට මින් උගත හැකි දේ ඉමහත්ය. සොබා දහම සහ සංස්කෘතිය (Nature and Culture) ගොනුන් සහ අශ්වයින් උපදින  විට නිදහස් වේ. නමුත් ඔවුන්ට ලණු වැටෙනුයේ මිනිසා ඔවුන් මත ක්‍රියා කිරීම නිසාය. ඔවුන්  නිදහස්ව ඉපදීම අපට සොබා දහම (Nature) ලෙසත් මිනිසාගේ මැදිහත් වීම නිසා බැමි ඇති වීම  සංස්කෘතිය (Culture) ලෙසත් වටහා ගත හැකිය.

මිනිස් ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන මෙම  දෙවෙනි ස්වභාවය වන සංස්කෘතිය සහ විශ්වයීය ස්වභාවය වන සොබාදහම අතර ඇති සම්බන්ධතාවය  අධ්‍යයනය කිරීම සහ වර්ධනය කිරීම තුළින් මිනිස් ගමන් මඟ සැකසීම අද දවසේ  අත්‍යාවශ්‍යම  කාර්යයයකි.  

අපට ජීවිතයේ සෑම වටම මෙ ද්වි තත්වයේ අන්තර් සබඳතාවය දැකගත හැකි ය. මෙම අන්තර් සබඳතාවය මැනවින් වටහා ගැනීම තුළ මිනිසාට වර්ධනයේ නියාමයන් හදුනා ගත හැකිය.

අපට නිවස - මිදුල - වවා ඇති මල් - කථා කරන භාෂාව - වචන - සංකල්ප - පොත්පත් සියල්ල නිතරම ඇස ගැසී ඇති නිසා ඒවා ස්වභාවික ලෙස පෙනෙන්නට පුළුවන. ඥාතීත්වය, පවුල, පාසැල ආදී සමාජ ව්‍යුහ පවා මිනිස් ක්‍රියාකාරීත්වයේ නැතහොත් සංස්කෘතියේ ප්‍රථිඵල බැව් ප්‍රවේශමෙන් කරුණු වටහා ගන‍්වනකුට දත හැකිය.

අද වන විට අපි ස්වභාවික (Nature) ලෙස පිළිගෙන ඇති ‍දේ සංස්කෘතිය (Culture) ලෙස වටහා ගත් විට සංස්කෘතිය එයට වඩා හොඳින් වර්ධනය කළ හැකි බැව් වටහා ගත හැකිය. මිනිසා තම ක්‍රියාකාරීත්වය ස්වභාවික ලෙස නොව සංස්කෘතික ලෙස සලකන්නේ නම් පැහැදිලිව එය වඩා ඉදිරිගාමී ලෙස ලෙස වෙනස් කළ හැකිය.


මනස සහ මිනිසා (The Mind and Man) 

සුප්‍රසිද්ධ ෂාඔලින් ආරාමයට සම්බන්ධ බෝධිධර්ම (Bodi Dharma) හිමියන් හමුවීමට පැමිණි සටන් ශිල්පියෙකු තම මනස නොසන්සුන් බව පැවසීය. බෝධිධර්ම හිමියන් ඔහුට කියා සිටියේ ඔහුගේ මනස තමන්ට ලබා දෙන ලෙසත් එවිට එය සන්සුන් කළ හැකි බවත් ය. 

මෙහිදී සටන් ශිල්පියා කියා සිටියේ මනස අල්ලා ගත නොහැකි බවත් එය සොයාගත නොහැකි බවය.


එසේනම් එය සන්සුන් කරන්නේ කෙසේදැයි ? බෝධිධර්ම හිමියන් ප්‍රකාශ කර සිටියේ ය. 


අළුත අපන් දරුවෙකුට සිතීමට හැකිදැයි ඔබට නිකමටවත් සිතී තිබේද? ඔබ සිංහලෙන් කථා කරන විට සිංහලෙන් සිතීමටත්, ඉංග්‍රීසි ජාතිකයෙකු කථා කරන විට එය ඉංග්‍රීසි භා‍ෂාවෙන් හෝ වෙනත් භාෂාවකින් කිරීමටත් හේතුව ඔබ සිතා තිබේද? ඔබට වචන නොමැතිව කල්පනා කළ හැකිද? වචන තුලින් හැරෙන්නට සංකල්ප බිහිවේද? 

එසේ විය නොහැක. එසේ නම් භාෂාව සහ මනස අතර ප්‍රබල සම්බන්ධයක් පවතින බැව් නොපෙනේද? ඔබට සිංහල මනසක් සහ තවත් අයෙකුට ඉංග්‍රීසි මනසක් ඇතිවීමට හේතුව එය මිනිස් ක්‍රියාකාරීත්වයේ ප්‍රථිඵලයක් නැතහොත් සංස්කෘතියේ ප්‍රථිඵලයක් නිසා බැව් නොපෙනේද? 
මනස සඳහා ප්‍රබලව සංස්කෘතිය දායක වෙයි. 'සිතන මිනිසා' යනු සමාජ සංස්කෘතියේ ප්‍රථිඵලයක් මිස එය උපතින් ගෙන ආ තත්වයක් ලෙස වටහා නොගත යුතු වෙයි. එවිට අපිට අපේ ප්‍රබලතා සහ දුබලතා සියල්ල සංස්කෘතීන්ගේ ප්‍රතිඵලයක් ලෙස වටහා ගත හැකිය. උදාහරණයක් ලෙස භාෂා ලෝකය තුළ හොඳින් පුළුල් නොවන තැනැත්තා සිතීම සඳහා අමුද්‍රව්‍ය නැති තැනැත්තෙකි. එම නිසා සිතී‍මේ පුළුල් බව උදෙසා අපිට සිතීමේ අමුද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍ය දියුණු සංස්කෘතියක් නිර්මාණය කර ගත යුතු වෙයි. 

කළු ගලක් කඩන අයෙකු සිතනුයේ 'වෙනස් වන්නේ කළු ගල පමණකි' යනුවෙනි. නමුත් ඔහුගේ එම ක්‍රියාකාරීත්වය ඔහුව වෙනස් කරන බව ඔහු නොදනී. මාංශ පේශි වල සිට, අස්ථි වල සිට ඔහුගේ වෙනස් වීම ඔහු නොදනී.

මිනිසා යනු තමන් මුහුණ දෙන සමාජ සංස්කෘතියේ ප්‍රථිඵලයක් ලෙස වටහා ගත හැකිය. එවිට අද සිටින මිනිසා වටහා ගත යුත්තේ අද තිබෙන සමාජ-සංස්කෘතික තත්වයන්ට සාපේක්ෂව ය.


පළමු වසරේ සිට දහතුන් වන වසර දක්වා අපි ළමුන්ව පුටු මත වාඩි කරවා ඔවුන්ට උගන්වන්නෙමු. ඔවුන් එවිට පුළුල් වනුයේ භාෂා හා සංකේත ලෝකයක් තුළ පමණි. එම භාෂා සහ සංකේත ලෝකයක පුළුල්වීම  ඔහු 'මම' ලෙස වටහා ගනියි. 'මම' දන්නා විදිහට, 'මම' සිතන විදිහට ආදී වාක්‍ය ඔහුගේ මුවින් පිටවන්නේ ඒ නිසාය. නමුත් මම දන්නා ආකාරය සහ මම සිතන ආකාරය යන්න සමාජ-සංස්කෘතියේම ප්‍රථිඵලයක් ලෙස ඔහු නොදකී.   



අද දවසේ ලාංකීය සමාජයේ 'මිනිසා' සහ ලාංකීය සමාජයේ 'මම' යන්න භාෂා විශ්වය තුල පුළුල් වීමක් ලෙස වටහා ගත යුතුයි. මෙය බරපතල තත්වයකි. මිනිසා භාෂා විශ්වය තුළ පුළුල් වේ නම් භාෂාව භාවිතයට-චින්තනයට අවශ්‍ය වනුයේ සිරුරේ මොළයේ කොටසක් පමණි. සිරුරේ කොටසක් තුළ නිරන්තරව වැඩ කිරීම අපි ස්වභාවික තත්වයක් ලෙස වටහා ගන සිටිමු. නමුත් එය අපි මුහුණ දුන් සංස්කෘතියේ ප්‍රතිඵලයකි. අද ලාංකීය සමාජයේ භාෂා විශ්වය තුළ පමණක් පුළුල් වූ මිනිසා යනු ශරීරයේ කොටසක් මත ක්‍රියාකාරී වන සමාජ-සංස්කෘතියේ ප්‍රථිඵලයකි. මනස භාෂාව නිසා ඇතිවන බැවින් මනෝ මූලික සත්වයා බිහිවීමේ පදනම ද භාෂා විශ්වය තුළ පමණක් පුළුල් වීම ලෙස වටහා ගත යුතුයි.



භාෂා විශ්වය තුළ ඔබේ පුළුල් වීම මෙසේ සලකා බලන්න. ඔබේ නම-ඔබ දන්නා දේ-ඔබේ පවුලේ සම්බන්ධතා-ලොකු පුතා-පොඩි දුව-තාත්තා-අම්මා-අයියා-මාමා-පවුලේ තත්වය-ගුරුවරයා-විදුහල්පතිවරයා-රාළහාමි-ප්‍රසිද්ධ ක්‍රීඩකයා-වෛද්‍යවරයා මේ සියළු තත්වයන් බිහිවී ඇත්තේ භාෂා විශ්වය තුළ පුළුල් වීම නිසාය.

 උදාහරණයක් සලකමු. මිනිසෙකු ලාංකීය අධ්‍යාපන ආයතනයක රැකියාවක් ලබයි. ඔහු ගුරුවරයෙකු ලෙස පාසැල තුළ ක්‍රියා කරයි. ගුරුවරයා කෙසේ විය යුතු දැයි භාෂා ලෝකය තුළ සංකල්පගතවී ඇත. මෙම සංකල්ප ගතවීම සමාජ-සංස්කෘතියේ ප්‍රථිඵලයකි. යම් කලකට පසු ගුරුවරයාද එම සංකල්ප ගතවීම 'මම' ලෙස වටහා ගනියි. මෙම වටහා ගැනීම නිසා ගුරුවරයා යම් තත්වයක් ඇත්තෙකු සේ සිතයි. අනුන්ගෙන් සැලකුම් බලාපොරොත්තු වෙයි. ළමුන් මෙසේ හැසිරිය යුතු යැයි බලාපොරොත්තු වෙයි. ළමුන් ඔහුට අනුව හැසිරේ නම් ඔහු සතුටු වෙයි. ළමුන් ඔහුට අනුව නොහැසිරේ නම් ඔහු කෝප වෙයි. ළමුන්ට දඩුවම් ලබා දෙයි. එය 'විනය' ලෙස ඔහු හඳුන්වයි. ආයතනය තුළ ඔහුගේ ක්‍රියාකාරීත්වය ස්වභාවික තත්වයක් ලෙස ඔහු සලකයි. නමුත් එය සමාජ-සංස්කෘතියේම ප්‍රථිඵලයකි. මෙම ගුරුවරු තමන් නිර්මාණය වූ ලෙසම භාෂා විශ්වය තුළ පමණක් ගොඩනැගෙන මනෝමූලික සත්වයින් බිහිකිරීම ඉගැන්වීම ලෙස සලකයි. මෙය පවතින සංස්කෘතිය තුළට මම නිර්මාණය කිරීමකි.

පූර්ණ ශරීරය සහ පෙරදිග කලාවන්




ශරීරයේ කොටසක් - මොලයේ චින්තනයට අදාල කොටස් සමඟ පමනක් (ප්‍රමුඛව) පුළුල් වීම සහිත 'මම' බිහිවීමට වෙනස් තත්වයක් පෙරදිග ලෝකයේ 'මම' බිහිකිරීම සම්බන්ධයෙන් ගොඩනැගී ඇත. පෙරදිග යෝගී ව්‍යායාම, මෘදු සහ තද සටන් කලාවන් (Soft and Hard Martial Art) අභ්‍යන්තරික හා බාහිර ව්‍යායාම (External And Internal Exercises)‍ බිහිවීම මෙම 'මම' ‍බිහි කිරීමේ වෙනස් තත්වය මත රදා පවතී. මෙය පූර්ණ ශරීරයම ගොඩනැගීමේ, වර්ධනය කිරීමේ, පාලනය කිරීමේ සංස්කෘතිමය මැදිහත්වීමකි. මෙමගින් ප්‍රායෝගික මිනිසෙකු බිහිකල හැකිය. 


'හස්තයේ චලනය මොළයේ සංවර්ධනයටත්, සංවර්ධිත මොළය හස්තයටත් නව කාර්යයක් පැවරූ බව චාල්ස් ඩාර්වින් පවසයි'. මුළු සිරුරේම චලනය මොළයටත්, එම මොළය මුළු ශරීරයට නව කාර්යයන් පැවරීමක් යන්න ලෙස ඉහත කී දේ වෙනස් කළ හැකි නම් කුමක් සිදුවේද? අද වන විට මිනිස් සංස්කෘතියේ දියුණුව මිනිස් සිරුරේ චුම්භක බල ක්‍ෂේත්‍ර, තාපමය විද්‍රයුතමය ක්‍රියාවලි, ඇල්ෆා-බීටා-ගැමා ආදී කිරණ පිටවීම් ගැන සොයාගෙන තිබේ. මේ සියල්ල පෙරදිග ශාරීරික සංස්කෘතිමය මැදිහත්වීම් තුළ නැතහොත් කලාවන් තුළ අදෘශ්‍යමාන ශක්තීන් නැතහොත් සංඝඨක ලෙස හඳුන්වා තිබේ. මෙය අභ්‍යන්තර ශක්තිය - චී (Qi) ලෙස හඳුන්වයි.

මෙම සිරුර මූලික කරගත් 'මම' බිහිකිරීමේ සංස්කෘතික මැදිහත්වීමට චීන සටන් කලාව සහ පාරම්පරික චීන වෛද්‍ය කලාව (Wushu and Traditional Chinese Medicine ) අතිශය වැදගත් වෙයි. ශරීරය තුළ දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන ශක්තීන්ගේ වර්ධනය මතින් බිහිවන 'මම' අද දින සංකල්ප ලෝකය තුළ පමණක් බිහිවන 'මම' තත්වයෙන් කොපමන වෙනස්ද?

ශාරීරික සංස්කෘතිය (Body Culture)

 

පූර්ණ සිරුර ප්‍රමුඛ ලෙස සලකන, පූර්ණ සිරුරේ සංවර්ධනයත් සමග ගොඩනැගෙන ප්‍රයෝගික 'මම' මූලික කොට සලකන, එයට සරිලන සංස්කෘතික මැදිහත්වීම් (ශාරීරික තාක්ෂණය) සහිත සංස්කෘතියක් ශාරීරික සංස්කෘතියක් (Body Culture) ලෙස සැලකිය හැකිය. මෙවැනි සංස්කෘතියක් තුළදී මිනිසුන් තත්වය වැනි දේ (මානසික ලෝකය තුළ ගොඩනැගී ඇති මානසික මිනිස් සබඳතා - ගුරුවරයා සහ ළමුන් ගැන සිතා බලන්න) ප්‍රමුඛ කොට ‍නොසලකන අතර සැබෑ ශාරීරික මිනිස් සබඳතා ප්‍රමුඛ ලෙස සලකා කටයුතු කරයි. වූෂු සහ චිගොන්ග් යන චීන කලාවන් ශාරීරික සංස්කෘතියක් ගොඩනැගීමේදී ඉතාම වැදගත් කාර්යයක් ඉෂ්ඨ කරයි.



අරුණ ශාන්ත
මෙය 1997 අප්‍රේල් මස හිරු සඟරාවේ පළවූ ලිපියකි.


මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.

3 comments:

  1. ලස්සන ලිපියකි.

    ReplyDelete
  2. ඉතා වටිනා පලකිරීමක් .

    ReplyDelete
  3. ඉතා වටිනා පලකිරීමක් .

    ReplyDelete