Friday, August 20, 2010

වූෂූ සහ චිගොන්ග් ඇම්ම වෙනුවට දර්ශනයක්



ලාංකීය සටන් කලාවේ ඓතිහාසික වර්ධනය


විසි එක් වෙනි සියවසේ එළිපත්ත උඩ සිටින අපට, අප අවට සිදුවන (සමාජය තුළ) දේවල් තේරුම් ගැනීම වගේම වෙනස් කරන්නත් සිද්ධ වෙන්නෙ මේ සියවස තුළ සිදුවන භෞතිකයන්ට සාපේක්ෂව. ප්‍රාග්ධන ගෝලීයකරණය (Globalization) තුළ ගොඩක් දේවල් වාෂ්ප වෙන්න පටන් අරන්. වාෂ්ප වූ දේවල් ඇසි පිය හෙලන වේගයෙන් එකතු වෙනවා. සමාජ චලනයේ මේ 'මොහොත' තේරුම් ගන්නේ කොහොමද කියන එකට අදාල විද්‍යාත්මක‍ භාවිතාවන් ඇරෙන්න අපේ ජීවිත‍ විනිවිද යන ගොඩක් දෙවල් වලින් බේරෙන්න බැරි වේවි. මෙය සමාජීය අරුතකින් බරපතල කාරණයක්.

මිනිස්සු සමාජය තුළ කල නිෂ්පාදනයන් (Production) නිසා මිනිස් සමාජය බිහිවී වර්ධනය වීම සිදු වුණා. මිනිසුන් නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු වීම පිටුපස වූ උවමනාවන් සහ මිනිස් සමාජය තුළ උවමනාවන් නිෂ්පාදනය කිරීම (මතවාදයන්) දක්වා වන ක්‍රියාවලියක සමස්ථ ඉතිහාසයම අහම්බයක් නොවන අතර ඊට බලපෑ සම්බන්ධයත් තේරුම් ගැනීම සරල සහ පහසු දෙයක් ද නොවේ. 'සමාජය' තුළ වැඩ කරන මිනිස්සු ඔවුන්ගේම ක්‍රියාවලි පිටුපස ඇති උවමනාවන් සමඟ බැඳී තිබෙන සන්දර්භයක් තුළ වටහා ගැනීම කියන කාරණය වැදගත්.

මිනිස්සු සොබාදහම තුළ කල අනවරත අරගලය (නිෂ්පාදනය) නිසා ගොඩනැගූ දක්ෂතාවයන් (Skills) භාවිතා කිරීම සහ මර්ධනය කිරීම තුළ මිනිස් සමාජයේ පුද්ගල සහ සමාජීය සංවර්ධනයන් සිදු කල හැක. එනයින් දක්ෂතාවයන් (නිෂ්පාදනයන්) යනු සංස්කෘතික නිර්මිතයක් ලෙස වටහා ගැනීම තුළ මිනිසාට ලෝකය වෙනස් කිරීමට හැක. චීන සටන් කලාව යනු මිනිස් සංහතිය විසින් බිහිකල දැනුම කැටි වූ විද්‍යා ක්ෂේත්‍රයක් වන අතර එය ප්‍රබල සංස්කෘතික නිර්මිතයකි. 

මානව සංහතිය බිහි වූ තැන පටන් වූ 'සටන' නැමැති ක්‍රියාවලිය (භෞතිකය) විනාශ කිරීම, ගොඩනැගීම යන ද්විත්වය මත පදනම් වීම තුළ එය විද්‍යාවක් ලෙස සංවර්ධනය විය. ඒ මත 'මිනිස් පුද්ගල ශරීරය' (Self) සහ 'සමාජීය මිනිසා' යන ඒකත්වය සමාජීය ඉදිරිගාමී අරුතකින් නිර්මාණය කිරීමට හැකි භාවිත විද්‍යාවක් වශයෙන් චීන සටන් කලාව වටහා ගත යුතුය. දාර්ශනික, විද්‍යාත්මක, ප්‍රායෝගික හා ඓතිහාසික තත්වයන්ගෙන් යුතු එහි සන්දර්භය වටහා ගැනීම තුළ ලාංකීය සමාජයට ඉදිරිගාමී භාවිතාවක් රැගෙන ආ හැකි ය.  

මේ මොහොතේ ලාංකීය පරිසරය තුළ චීන සටන් කලාවට (Wushu) අදාල තත්වයන් පරීක්ෂා කිරීම වලංගු වන්නේ ඒ අරුතිනි. මේ මොහොත වන විට ලාංකීය පරිසරය තුළ චීන සටන් කලාවේ ලාංකීය සමාජ භාවිතාවන් ගණනාවක් ගොඩ නැගී ඇත. එම භාවිතාවන්ගේ දිශා ගැන්වීම සහ ඒ ඒ භාවිතාවන් පසු පස වූ උවමනාවන් සමග වන සමපාත වීම මත සිට කරනු ලබන මේ සොයා බැලීම වූ කලී එක්තරා ආකාරයකින් ඉතිහාසය වි‍ශ්ලේෂණය කිරීමකි. 

60 දශකයේ අග භාගය වන විට ලාංකීය පරිසරයට කරාතේ (Karate) නැමැති ජපන් සටන් කලාව හඳුන්වා‍ දෙනු ලබනවා. ඒ සඳහා මැදිහත් වන 'සමාජීය' චරිත විසින් කරාටේ ආත්මාරක්ෂක සටන් ක්‍රමයක් බවත්, ඉන් තමාගේ සතුරාට මුහුණ දීමට සහ විනාශ කිරීමට හැකි බවත් ඒ නිසා කරාටේ ගහ ගැනීමට ඉතාම උචිත දෙයක් ලෙසත් සමාජ මතවාදයක් සකස් කරනු ලබනවා. ඒ මතවාදය සකස් කිරීම පිටුපස වන ක්‍රියාවලිය තුළ ඇත්තේ නගර ශාලා,Y.M.B.A , Y.M.C.A ආදී ශාලා වල පවත්වාගන යන සටන් පන්ති. ඒවාට උත්තේජනය වන්නේ නාගරික සිනමා ශාලා හිමියන් ආනයනය කරන ලද චිත්‍රපට. එයට අමතරව නගරවල තමන්ගේ පින්තූර සහිත පෝස්ටර් අලවල පන්ති පටන් ගත්තු මාස්ටර්ල, කරාටේ පන්ති ගිහින් නගර වල හිටපු අයියලා සහ කරාටේ  පන්තිවලට  ගිහින් බස් ‍එකක ගිහින් කකුල පෑගුනත් පාගපු මිනිහගේ මූනට අනින්න සූදානම් වෙලා හිටපු සටන් වීරයෝ. ඉතින් සමාජය ඒ කාලේ කරාටේ වලට බය වෙලා හිටියා. මෙම බය වීම පිටු පස වන හයිය සමාජයේ කොටසක් ආකර්ෂණය කර ගත්තා. තව කොටසක් එම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කළා. කොහොමටත් සමාජය ඇතුලෙ කරාටිකාරයෝ කියන්නෙ ගණන්කාරයෝ කියන මතවාදය ගොඩනැඟුණු 'කරාතේවල තිබ්බ හයිය පිටුපස නිශ්චිත ආර්ථික ක්‍රියාවලියක් ගොඩනැඟෙමින් පැවතුණා. ඒ වැඩි වශයෙන් නාගරික තරුණයන්ගෙන් පිරුණු කරාතේ පන්ති නිසා. ගොඩක් වෙලාවට මේ කරාතේ සම්ප්‍රදායන් සහ ගුරුකුල  අතර යුධ ප්‍රකාශ කරගැනීම් සහ සැබෑ යුද්ධ ඇති වුණා. මේ ක්‍රියාවලිය ක්‍රමයෙන් ගමට සංක්‍රමණය වුණා. මේ දේවල් සිද්ධ වෙන අතරතුර තවත් ඊට වෙනස් දේවල් ටිකක් සිදුවෙමින් පැවතුණා.

දැන් ඉහත ක්‍රියාවලිය 70 ව දශකයේ මුල් අදියරට එළඹිලා. කොළඹ ප්‍රධාන සිනමා ශාලා විසින් ආනයනය කරන ලද චීන සටන් කලාව සහිත චිත්‍රපට ගණනාවක් තිරගත වීමට පටන් ගැණුනා. ඒ චිත්‍රපටවල 'ගහගන්නවා' දැකපු චිත්‍රපට ශාලා හිමියන් චිත්‍රපට ප්‍රචාරක දැන්වීම් යටින් 'අති බිහිසුණු කරාටේ සටන් පිරි' වැනි යෙදුම් ප්‍රදර්ශනය කිරීම හරහා ඒ වන විට නාගරික සමාජය තුළ පැවතුන පන්ති වල සිසුන් චිත්‍රපට ශාලා වෙත අද්දවා ගනු ලැබුව. ලංකාවේ නාගරික සමාජය තුළ ඊළඟ විපර්යාසය කිරීම සඳහා දායක වෙන්නෙත් නිශ්චිතවම කොළඹ කේන්ද්‍රීය චිත්‍රපට ශාලා හිමියන්.


 මේ කාලය තුළ බටහිර සටන් චිත්‍රපට වලට (කරාතේ සටන් සහිත) අමතරව විශේෂයෙන් හොංකොං ආශ්‍රිතව බිහි වූ කලාත්මක චීන සටන් කලා (Kungfu) චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය කරනු ලැබුවා. ඒ වෙන කොට බටහිර තාක්ෂණයට මුහු වෙලා තිබුණු චීන සටන් කලා දක්ෂතා සහිත චිත්‍රපට ප්‍රධාන වශයෙන් ඊට අනන්‍යතාවයක් ගොඩනගා ගනිමින් පැවතුණා.

චීන සටන් කලාව හරහා බිහි වූ චිත්‍රපට වල හැකියාවන්ගේ ප්‍රබලතාවයට අමතරව ඇඳුම් නිර්මාණයන්, සටන් ශෛලීන් වගේම, තාක්ෂණික භාවිතාවන්, තේමාවන් විකාශනය වීම ආදිය බලපෑව. නමුත් ඒ වන විට සමාජය තුළ චීන සටන් කලා භාවිතාව, සටන් කිරීමට නොහැකිය යන මතවාදය සමාජය තුළ ගොඩනැගෙන අතර සිදුවූ දෙයක් නිසා ලාංකීය සටන් කලා ක්ෂේත්‍රයේ ඊළඟ පිපුරුම හට ගැනීම. ඒ මාස්ටර් බෲස් ලී ගේ චිත්‍රපට  කොළඹ තිරගත වීමට පටන් ගැනීම. චීනයෙන් බටහිරට (ලොස් ඇන්ජලීස් වලට) ගිය මාස්ටර් බෲස් ලී ගේ චිත්‍රපට (බටහිර තාක්ෂණ ප්‍රයෝග සහිත) ප්‍රදර්ශනය වැඩි වත්ම සිනමා ශාලා හිමියන් කරාටේ යන නම භාවිතා කළාට එම චිත්‍රපට චීන සටන් කලාව බටහිරින් හඳුන්වපු 
( වැඩි වශයෙන්) කුංග්-ෆු යන නමින්ම ප්‍රසිද්ධ වීමට ගැණුන. ඒ විතරක් නොවෙයි මාස්ටර් බෲස් ලී බටහිරට යනවිට බටහිරකරණය වුණු කරාතේ සහ බොක්ෂින් වැනි සටන් ක්‍රමවල සීමාවන් දාර්ශනික ප්‍රවාහයක සිට විනිවිද දුටු මාස්ටර් බෲස් ලී විද්‍යාත්මක සහ දාර්ශනික පදනමක් මත සිට චීන සටන් කලාවේ මාස්ටර් බෲස් ලී ගේ ප්‍රකාශිත වීම වන ජිට් කුනේ ඩු (Jeet Kune Do) සඳට දිගු කළ ඇඟිල්ල යන අර්ථයට සමාන - සටන් හැකියාවන් සහිත චීන සටන් කලාවෙහි නිර්මාණාත්මක භාවිතාව බටහිර සමාජයට රැගෙන විත් තිබුණා. 

එය නැවත චිත්‍රපට තුළ ප්‍රකාශ වීමට අදාලව මාස්ටර් බෲස් ලී නළුවෙකු වශයෙන්, සටන් ශිල්පියෙකු වශයෙන් විශාල සංකේත ප්‍රාග්ධනයක් ගොඩනගාගෙන තිබුණා. ඒ විතරක් නෙමෙයි  මාස්ටර් බෲස් ලී ගේ සටන් ශෛලිය අති ජනප්‍රියත්වය කරා ලඟා වෙමින් පැවතුණා. ඔහුගේ චිත්‍රපට වල තේමාව සහ ප්‍රකාශිත වීම තුළ බටහිරකරණය වූ කරාතේ සටන් ක්‍රමයට ප්‍රති විරෝධී දේ වශයෙන් යොදාගෙන තිබූ සන්දර්භය තුළ සිදුවුණේ වෙන දෙයක්. ලංකාවෙ නාගරික සිනමා ශාලා වල ප්‍රදර්ශනය වුණ 'Enter the Dragon', 'The Big Boss', 'Fist of Fury', 'Way of the Dragon', වගේ චිත්‍රපට 


අපේ සටන් ශිල්පීන්  කරාතේ වලට එහා ගිය සටන් ක්‍රමයක් සහිත දේ චිත්‍රපට වල දර්ශන නරඹමින් ඒවා අනුකරණය කිරීමට උත්සාහ ගත්ත. එම සටන් ශිල්පීන්ගෙන් කොටසක් කරාතේ අතහැර 'අභිනිෂ්ක්‍රමණය' කිරීමට පටන් ගත්ත මේ ප්‍රබල සටන් ක්‍රම හොයාගෙන.

මෙතෙක් ලාංකීය සමාජය තුළ කරාතේ සහ චීන සටන් කලාව (Wushu or Kungfu) අතර ප්‍රතිවිරෝධී තත්වයන් බිහිවීමට පටන් ගැණුන. ලාංකීය සමාජය ඇතුළත මාස්ටර් බෲස් ලී වීරයෙක් වුණා. පසු කාලයේ මේ වීරයාගේ සටන් ක්‍රමය උගන්වන්නට නාගරික සමාජය තුළ පටන් ගැණුන. දවසට රු 10,000 සිට රු 25,000 දක්වා ගණනක් හොයාගෙන හවස නිවෙස් බලා යාමට මේ මාස්ටර්ලට හැකි වුන බව සත්‍යයක්. මේ තත්වය කොළඹට වගේම කුරුණෑගල, නුවර, ගම්පහ, වේයන්ගොඩ, මීගමුව ආදී නගර වල ප්‍රබල ලෙස පැවතුණා. මේ මොහොත වන විට ලාංකීය සන්දර්භය තුළ කරාතේ සහ කංග් ෆු සටන් ක්‍රම දෙක ප්‍රතිවිරෝධී ලෙස විකාශනය වීමට පටන් ගැණුන. මේ ප්‍රතිවිරෝධී බව ඒ ඒ මාස්ටර්ල සහ ඔවුන්ගේ ගෝලයන් අතර වුණ භාෂාමය යුද්ධ වල සිට සැබෑ ගුටි කෙළි දක්වා වර්ධනය වුණා.

ඉහත චිත්‍රපට සමඟ ලාංකීය සමාජය තුළ ගොඩනැ‍ඟෙන හිඩැස පිරවීම සඳහා (මාස්ටර් බෲස් ලී ගේ ලාංකීය සම්ප්‍රාප්තියට පසු) 70 ව දශකයේ  සුවිශේෂ චරිත ගණනාවක්  ඉදිරියට පැමිණෙනවා. නමුත් ඒ අයගෙන් ගොඩක් දෙනෙක් ක්‍රමයෙන් දිය වෙලා ගිහින් සුවිශේෂී චරිත දෙකක් ඉදිරියට එනවා. ඒ කොළඹ කේන්ද්‍රීය ජීවිතයක් තිබුණු ප්‍රසන්න ජයවීර  සහ කොළඹින් පිට කුරුණෑගල ප්‍රදේශයේ අර්ධ නාගරික ජීවිතයක් ගෙවපු සීවලී වික්‍රමආරච්චි කියන චරිත දෙක.

මේ මොහොත ලාංකීය හිඩැස පිරවීමට පෙරට එන මේ චරිත ප්‍රබල ලෙසම සමාජ මැදිහත් වීමක් කරනවා. නමුත් ඉහත දෙන්නගෙම සුවිශේෂතාවය වන්නේ මේ දෙන්නම 'කරාතේ' කියන සමාජ භාවිතාවක සිට පැමිණීම කියන කාරණය. මේ දෙන්නම උත්තේජනය වෙන්නෙ එවකට චිත්‍රපට විසින් ලාංකීය සමාජ සන්දර්භයට කළ බලපෑම නිසා. 'කරාතේ' වලින් වලින් සමුගත් මේ දෙන්නම පසු කා‍ලයක චීන සටන් කලා භාවිතාවකට ලාංකීය සමාජය තුළ පැමිණෙනව. නීතිඥයෙක් වුණ තමන්ගෙ තාත්තා චීන ලංකා මිත්‍රත්ව සංගමයට තිබුණු හිතවත්කමක් සහ චීන තානාපති කාර්යාලය තුළට තිබූ හිතවත්කම් නිසා ප්‍රසන්න ජයවීර චීන සටන් කලාව ඉගන ගැනීමට කොළඹින් චීනයට යනවා.... සීවලී වික්‍රමආරච්චි ලංකාවෙ ඉඳගන තමන්ගේ ගෝලයන්ට තමන්ගෙ නිර්මාණාත්මක භාවිතාවන් එක්ක චීන සටන් කලාව උගන්වනවා.

ඒ එක්කම ඔහු තමන්ගේ ගෝලයින් සමඟ ලංකාව පුරා ශ්‍රී ලංකා බ්ලැක් ඩ්‍රැගන් චීන කුංග් ෆු සංගමය නමින් සංගමයක් හදාගෙන ලංකාවෙ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වල තමන් දන්න සටන් කලාව උගන්වනවා. මෙය තමන් දන්න ප්‍රමාණයක් සිට ප්‍රබල සමාජ භාවිතාවකට යාමක්. ඊට සාපේක්ෂව  දැනුම වර්ධනය කර ගැනීමක් නැති ඔහු පසු කාලයක වාෂ්ප වෙන්නෙත් ඒ හින්දමයි. ඔහුගෙ සමාජ භාවිතාව ඇතුළෙදි තවත් චරිත ගණනාවක් ඉදිරියට එනවා. ඒ ජයන්ත අබේකෝන්, නයනානන්ද එදිරිසිංහ, සුනිල් ජයතිස්ස, ආර්.බී. වීරසිංහ (මැනේ), හේමචන්ද්‍ර රත්නසිංහ වගේ මේ මොහොතෙත් සටන් කලා භාවිතාවක ඉන්න චරිත.
  
මේ කට්ටිය කුරුණෑගලට නුදුරු ගිරිඋල්ල කියන ග්‍රාමීය සම්භවයන් සහිත අර්ධ නාගරික පරිසරයක, මේ හැම දෙනෙක්ම එක්කල සටන් කලාව පුහුණු වෙමින් එකට බජාර් එකේ සිටිමින්, හවසට එකතු වෙලා ටිකක් විනෝද වෙලා හිටියා. මේ ඉන්න අතරතුරේ ඔවුන්ට මානෙල් ධර්මකීර්ති කියන චරිතය මුණ ගැහෙනවා. මේ මානෙල් ග්‍රාමීය වාමාංශික දේශපාලනයක අනුහසින්  එහෙ මෙහෙ සැරිසරමින් හිටපු කෙනෙක්. ඒ වෙනකොට මහව, ගල්ගමුව පැත්තෙ සැරිසරපු මානෙල් දේශපාලනයෙන් දියවෙලා ගිහින් 77-78 සමාජ විපර්යාසයන් එක්ක පෙරට එන මාධ්‍ය ක්‍රියාවලියකට සම්බන්ධ වෙනවා. ඉතිං විජය පුවත්පත් සමාගමට සම්බන්ධ 'තරුණයා' පත්තරේට වාර්තා සපයමින් උන්න මානෙල් ධර්මකීර්ති අර්ධ නාගරික - ග්‍රාමීය සම්බන්ධතාවයන් සමඟ ගනුදෙණුවක් කරමින් උන්න සීවලී වික්‍රමආරච්චිට සහ අනෙක් අයට 'පොරක්' වෙනවා.

මේ ඉහත අයගේ සමාජ භාවිතාව ඒ මොහොත් තුළ වඩාත්ම තර්කානුකූල තලයක මාධ්‍ය භාවිතාවකට ගේන්න මානෙල් ට හැකි වෙනවා. ඒ ඉහත අපි කථා කරපු කරාතේ සහ කුංග් ෆු කියන සමාජීය යුධ ප්‍රකාශ වීම මානෙල් ගේ සමාජ සම්බන්ධතා හරහා වර්ධනය වන මාධ්‍ය භාවිතාවක් දක්වා රැගෙන ඒම. ඒ සීවලී වික්‍රමආරච්චි ව එම්.බී.ඩී සිල්වා මාස්ටර් (ඒ මොහොතේ ලංකාවේ කරාතේ සටන් ක්‍රමයේ දක්ෂයෙක්) සමඟ 'තරුණයා' පත්තරේ තුළින් පොරපිටියකට රැගෙන ඒම. ලාංකීය සමාජ සන්දර්භය තුළ එවකට පැවැති තත්වය තර්කානුකූල තලයකට ගෙන ඒම කියන කාරණාව. පසු කා‍ලයේ දී තමන්ගේ ශරීරය මහන්සි කරමින් 'කික්' එකක් කිරීමට දැනගත්ත, සටන් කලාව තුළ තමන්ට තේරෙන ප්‍රමාණයකට කුමන ආකාරයක හෝ වැඩක් කරන්නට උත්සාහ ගත්ත, ඒ ගැන උනන්දුවක් තිබුණ සීවලී වික්‍රමආරච්චි ගෙදර යනවා. පළමු කාලෙක, අඩුම ගණනෙ දවස් දෙකක්වත් ඇඟ මහන්සි කරල ව්‍යායාමයක් (සටන් කලාව) නොකරපු (මේ කථාව කියන්නෙ මානෙල් සමඟ චීනය දැක බලා ගන්න ගිය අය) මානෙල් චීනෙට ගිහින් ........ ලංකාවේ වූෂු වෙනුවෙන් අනුමත නිල සම්මේලනයක සභාපති වෙනවා. සීවලී වික්‍රමආරච්චි සමාජය තුළදී ඉහත ක්‍රියාවලි නිසා සංකේත ප්‍රග්ධනයක් රැස් කරගන්නවා. ඊට සාපේක්ෂව මානෙල් ධර්මකීර්තගෙ සංකේත ප්‍රාග්ධනය විශාල වෙනවා.

ඒ ඔහු සමාජයේ අධිපති මාධ්‍ය  සම්ප්‍රදායකට තිබූ සෘජු සම්බන්ධතාවය නිසා. නමුත් පසු කාලෙක ලංකාවෙ සීවලී වික්‍රමආරච්චි ට එරෙහිව තරුණයන් ගොනු කරන ඔහුගේ ජේෂ්ඨයෝ මානෙල් ද සමඟ එකතුව ඔහුව සංගමයෙන් නෙරපනවා. මේ වැඩේ කරන්නම ඕනෑ වෙන විෂය මූලික තත්වයන් ඒ වෙනකොට බිහිවෙලා. ඒ දේවල් හසුරුවන්නෙ වාමාංශික දේශපාලනයකින් සමුඅරගන හිටපු මානෙල් ගෙ ඔළුවෙන් කියන එක සීවලී වික්‍රමආරච්චිට එදා නොතේරෙන්න ඇති. මේ කියන කථාවට හොඳම සාක්ෂිය තමයි සීවලී වික්‍රමආරච්චි සංගමයෙන් නෙරපල මානෙල් සංගමයෙ නමින් කරන 'කුංග්ෆු' කියන සඟරාව භාෂාමය ගොඩනැංවීමක අනුහසින් ඉහළට ගිහින් පොළොවට පතිත ‍වෙලා කුඩු වෙලා යනවා.



ඊට පස්සෙ සංගමයේ වැඩ ටික අතට ගන්න හිටපු ජේෂ්ඨයෝ තම තමන්ගෙ කොටස් වර්ධනය කරනව. ඒ වෙද්දි සමාජ භාවිතාවන් ගණනාවකට යන මේ ජේෂ්ඨයෝ ටික අරගන වාහනේ සුක්කානම කරකවන්නෙ මානෙල්. ඒ වෙද්දි විශේෂයෙන්ම මානෙල්ගෙ සමාජ සම්බන්ධතාවයන් වල අනුහසින් සහ මානෙල් මාධ්‍ය සම්ප්‍රදායකට සම්බන්ධ වීමේ හයිය හරහා  චීන තානාපති කාර්යාලයේ නියෝජිතයෙකු ගෙනත් සටන් කලා දක්ෂතා පෙන්වනව. ඒ දක්ෂතා වෙනුවෙන් ශරීරයෙන් මහන්සි වුණ අය සියළු දෙනා ගෙදර යනව. මානෙල් ඒ උපාධිය අරගෙන සමාජය තුළ ඉදිරියට එනවා. පසු  කාලයක වෙන් වුණු මේ ජේෂ්ඨයන් ගෙන් එවකට සටන් කලාව තුළ දක්ෂයෙකු වශයෙන් අර්ථ ගැන්වූ ජයන්ත අබේකෝන් කියන චරිතය පළමුව අත හරිනව. ඔහු ඒ වෙනකොට සමාජය තුළ ගොඩ නඟාගෙන තිබූ හයියෙන් වැඩ කරගෙන යනවා. ඊට සමකාලීනවම ඉවත් වූ කිහිප දෙනෙක් තම තමන්ගේ වැඩ වලට ගොනු වෙනවා.

මේ අතරතුරේ මානෙල් කොළඹ ඉඳන් තමන්ගෙ වැඩ කොටස හොඳින් කරගෙන යනවා. ඒ වෙනකොට සංගමයේ ජේෂ්ඨයෝ ගණනාවක්ම අයින් වෙලා. නමුත් කොළඹට ගොනු වෙන මානෙල් ධර්මකීර්තිත්, නයනානන්ද එදිරිසිංහත්, සුනිල් ජයතිස්සත් ඇතුළු කිහිප දෙනෙක් එකට වැඩ කරනවා. චීන තානාපති කාර්යාලයේ මහත්වරු ටිකක් 'අන්දල' වත්තල පුරහලේ පහළ  සාමාජිකයින් මහන්සි වෙලා කරපු දක්ෂතාවල හයියෙන් චීනෙට යනවා. ඒ ගමනට නයනානන්ද එදිරිසිංහ, සුනිල් ජයතිස්ස ඇතුළු තව දෙතුන් දෙනෙක් සහභාගි වෙනව. චීනෙ ප්‍රාන්තෙකට යන මේ අයට චීනෙදි තායි චී වුවාන් (Thaiji Quan) කියන ශෛලියේ (අභ්‍යන්තර සටන් කලාවේ) දක්ෂතා, ව්‍යායාම එහෙ අය උගන්වන්න උත්සාහ කරනවා. මේ අය චීනයට ගිය දවස් 67 ක සංචාරය තුළ එක දවසක් තායි චී ඉගන ගන්න යන මානෙල් ට අමාරුයි කියල හිතන්න,  ................. කියල නිදා ගන්නවා. ඊට පස්සෙ එහෙදි චීනයේ අය ලංකාවෙ 'වූෂු' වෙනුවෙන් ලංකාවට අවංකව වැඩ කරන්ඩ යනව කියල කියන තත්වයන් තුළ සුනිල් ජයතිස්ස සහ නයනානන්ද එදිරිසිංහ ලාංකීය සමාජයට ප්‍රකාශ කරනව නම් හොඳයි. ඉතින් මෙහෙම චීන සටන් කලාව වෙනුවෙන් වැඩ කල, වර්ධනය කළ මානෙල් ට පුදුම පොර කෑමක් තියෙන්නෙ ලංකාවෙ නිල ජාතික සංගමයේ සභාපති වෙන්න. සභාපති පුටුවට යන මානෙල් නැගිටල කියනවා මම කිසිම පුද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරව මේ ක්ෂේත්‍රයට වැඩ කරන්න යනව කියල. 

ඒ වෙනුවෙන් තමන්ගේ පඩිපත පවා වියදම් කරනවා කියල අද දවසෙ චීනයේ සටන් කලාවට අමිල සේවයක් කළා යැයි සැලකෙන 'හායි ඩෙන්ග් ' (Hai Deng , 海灯法师) කියන ෂඔලින් පූජකයගෙ නමින් සංගමයක් හදාගෙන නයනානන්ද එදිරිසිංහලගෙන් එළියට යන මානෙල් ට  හායි ඩෙන්ග් කියන සටන් කලාව තුළ පරමාදර්ශ වලට මුවා වෙලා තව කාලයක් ලාංකීය සමාජය ගසා කන්න පුළුවන් වෙයි. හායි ඩෙන්ග් කියන ෂඔලින් පූජකයා මාසයකට පොත් 20-30 ක් කියවන, ශරීරයේ බර උඩුකුරුව තමන්ගෙ දබර ඇඟිල්ල මත රැඳවීමට ශරීරය පුහුණු කළ හැකියාවන් සහිත චීන වෛද්‍ය කලාවේ හැකියාවන් ප්‍රගුණ කළ එක්තරා කාලයක් ෂඔලින් ආරාමය ගොඩනැගූ, චීනයේ විශ්ව විද්‍යාලයක බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් වැඩ කළ, චීන සටන් කලාවට අදාල ග්‍රන්ථ ගණනාවක් ලියූ බුද්ධිමතෙක්. (මානෙල් විජය පත්තර කන්තෝරුව ඇතුලේ දැන්වීම් අංශයේ කරන රැකියාවට වඩා ඉහත ක්‍රියාවලිය අමාරුයි.) චීන සටන් කලා ‍ක්ෂේත්‍රයට (ලංකාවෙ) මාස්ටර් 'හායි ඩෙන්ග්' කැඳවල (චීන සමාජය තුළ සටන් කලාව සමාජීය වර්ධිත අර්ථයකින් වටහා ගෙන වැඩ කළා.) ඒ නමට අදාල හයිය භාවිතා කරල සමාජයේ තව කොටසක් අන්දවන්න මානෙල් ගෙ ඊළඟ වෑයම. ඉහත සන්දර්භය ගැන මොකුත් දන්නෙ නැති සරත් ජයසිංහ කියන ක්‍රීඩා විචාරකය තමන්ගෙ මාධ්‍ය භාවිතාව ඇතුලෙ මානෙල් ගෙ ලොකු ජායාරූපයක්  එක්කල මානෙල් ගෙ සටන් කලාව පුවත් පත් කරණය කරනව වගේම චීනෙදි තායි චී ඉගන ගත් ආකාරය පත්තර වල දාල තමන්ගෙ මිත්‍රකම රැකගන්න ගමන් ගාණක් හොයා ගන්නවා. කොහොමත් මේ සමාජ ක්‍රියාවලිය ඇතුලෙ ඉන්න මානෙල් ද ඇතුළු බොහෝ දෙනෙකුගේ සිහිනය වෙන්නෙ ලංකාවෙ නිල ජාතික සංගමයක නිලයක් ලබා ගැනීම කියන කාරණාව පැහැදිලියි. 

මේ සංක්ෂිප්ත ඉතිහාසය ලාංකීය වූෂු ක්ෂේත්‍රයේ එක අර්ධයක දිශාගැන්වීම. අපි එහි අනෙක් අර්ධයේ දිශාවට හැරෙමු.  සීවලී වික්‍රමආරච්චිට ඉහත අලකලංචිය සිද්ධ වෙන සමාජය තුළ, තෙම්පරාදු වන මුල් අවධිය වන විට ප්‍රසන්න ජයවීර කියන ලාංකීය වූෂු ක්ෂේත්‍රයේ අනෙක් අර්ධය තම පියා වන නීතිඥ කිංස්ලි ජයවීරගේ කොළඹ සමාජ සම්බන්ධතා වල අනුහස් මත චීනයේ සටන් කලාව හදාරල ලංකාවට එනව. ප්‍රසන්න චීනයට යාමට ප්‍රථම කොළඹ ගෙවපු සටන් කලා ජීවිතය තුළ ඔහුගේ ජීවිතයට බලපෑ චරිත කිහිපයක් ඉන්නවා. ඒ අජිත් ද සිල්වා, සරත් එදිරිසිංහ ඇතුළු කිහිපදෙනෙක්; කොළඹ අවට සහ වේයන්ගොඩ, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශ වල චීන සටන් කලාවේ පන්ති කරන්නට ප්‍රසන්නට පළමුව මැදිහත් වුණ ඉහත චරිත ගැන ඉතිහාස කථාව ක්‍රමයෙන් දියවෙලා යනවා.ප්‍රසන්නට පළමුව ලංකාවෙ 'වින්ග් චුන් '  කරපු අජිත් ද සිල්වා වගේ අයට සමහර විට ඒ සටන් කලා සම්ප්‍රාප්තිය සිදුවෙන්න ගැණුනෙ ඔවුන් එය භාවිතා කළ ආකාරයට සහ එය සමාජය තුළ ඔවුන්ගේ උවමනාවන්ට සාපේක්ෂ වුණු ආකාරය අනුව. එය කථා කළ යුතුයි. නමුත් ලාංකීය වූෂු ඉතිහාසය ලියන ප්‍රසන්නගේ 'චීන සටන් කලා විද්‍යා අධ්‍යාපනය' පොතට මේ කාරණා අසු නොවේවි.

චීනයෙන් කොළඹට ආපු ප්‍රසන්න ජයවීර ජාතික වූෂු මධ්‍යස්ථානය හරහා තම සමාජීය මැදිහත්වීම් කරගන යනු ලබනව. දැන් ප්‍රසන්නගේ ඊළඟ ඉලක්කය ලාංකීය සමාජය තුළට නිල භාවිත කිරීමක් දක්වා 'වූෂු' රැගෙන ඒම කියන කාරණාව. ඒ වෙනකොට චීනය ක්‍රීඩාවක් වශයෙන් 'වූෂු' ජනප්‍රිය කරවීමට උත්සාහ ගත්ත. ඒ ක්‍රියාවලියට සෘජුදායකවීමක් ලැබෙන ඔහු ඒ හරහා තමන්ගේ උවමනාවන් මුදුන්පත් කර ගැනීම කියන කාරණාව සමාජයට විවර කළ යුත්තේ ඇයි? මේ ලියන මොහොත දක්වාම අන්තර් ජාතික 'වූෂු' සම්මේලනය (International Wushu Federation), ආසියානු වූෂු සම්මේලනය (Wushu Federation of Asia) ඇතුළු  ආයතන වල නිල සාමාජිකත්වය ඇමරිකන් ඩොලර් 500 ක් පෞද්ගලිකව ගෙවමින් පරිහරණය කරන සීමාවන් ඉන් අපිට හඳුනාගත නොහැකි බව විශ්වාසය කළ යුතු ය. එය රැකගැනීම සහ පාලනය කිරීම සඳහාම 1998 නිලවරණයේ  සභාපති පුටුව සඳහා ඔහු පොර කනු ලබනු ඇත. ලාංකීය පරිසරය තුළ, චීන සටන් කලාව තුළ  සිදු කරන සමාජීය වර්ධනීය තත්වයන් යනු සමාජ ක්‍රියාවලියක් ප්‍රථිඵලයක් මිස හුදු පුද්ගලයෙකුගේ, සර්ව බලධාරී දෙවියෙකුගේ විශ්මිත ප්‍රථිඵලයන් නොවේ.

ඒ වෙනුවෙන්, 'වූෂු' වෙනුවෙන් තම නාමය ප්‍රකාශයට පත් කරනු ලබන (චීන සටන් කලා විද්‍යාව- වූෂු පොත) ප්‍රසන්න ජයවීර මහතා ඒ ගැන නැවත සිතා බැලිය යුතුය. චීනය හරහා ලැබෙන චීන සටන් කලා ආයුධ කට්ටල රු:5,000 බැගින් විකුණා රු: 800 ට බිල්පත් කැ‍ඩීමේ ලාංකීය වූෂු ව්‍යාපෘතිය යමෙකුට වටහා ගත හැක. ඒ බිල්පත් සමහර සංගම් අතේ තවම තිබෙන නිසා ඒවා කාට හරි ඉල්ලාගෙන බලන්නත් පුළුවන් වෙයි. කොළඹ කේන්ද්‍රීයව වැඩකරන ප්‍රසන්නගෙ සමාජ භාවිතාව ලාංකීය සමාජයට 'පොර' වෙන්න කියන එක ඔහුගේ මාධ්‍ය භාවිතාව තුළ වටහා ගන්නට ඕන. (කියවන්න ක්‍රීඩා ලංකා කලාප අංක 1,2,3 හි පළවූ ඔහුගේ සාකච්ජා හා ලිපි.) 

 කොළඹ කේන්ද්‍රීය ජීවිත ගෙවන ගොඩක් අයට වගේම ප්‍රසන්න ජයවීර මහතාටත් මාධ්‍ය ක්‍රියාවලියක ආනුභාවය වගේම සමාජ සම්බන්ධතා වල හයියෙන් ඉක්මණින් ඉහළ යා හැකියි. මේ සඳහා බොහොම සවිඥාණිකව ඔහු වැඩ කරන අයුරු වැඩි වෙහෙසක් නැතිව වටහා ගන්න පුළුවන්. වැඩි වෙහෙසක් දරමින් වූෂු ක්‍රීඩාවේ නිල භාවිතාව (ක්‍රීඩාවක් වශයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ) ක්‍රමානුකූල කිරීමටත්, ඒ ක්‍රියාවලිය තුළ තමන් සමාජය ත්‍රළ අධිනිෂ්චය වීමටත් ඇති 'ආශාව' කියන දේ භාවිතාව තුල යමෙකුට වටහා ගන්න වෙනවා. ලාංකීය සමාජ භාවිතාවක ඉන්න චීන සටන් කලාවට සම්බන්ධ අනෙක් චරිත තමන්ගේ දණහිසින් ඉහළට මායිම් නොකිරීම කියන කාරණය ගොඩනැගෙන්නෙ ඔහුගේ සමාජ භාවිතාව විසින් නැවත ඔහුට ලබා දුන්න හැටි නිසා. ඉතිං මේ වගේ ඌන සමාජයක් ඇතුලෙ එය විවර කළ යුතු දෙයක් වන්නේ ඒ නිසයි. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ හරහා එක්තරා කාලයක සමාජයේ ඉහළ දේශපාලනික චරිත සමඟ හිතවත්කම් ගොඩනඟාගත් ඔහු ඒවා නැවත තමන් සමාජය තුළ කරමින් උන්න ක්‍රියාවලියට පැහැදිලි පාඨයක් කරගන්නවා.

මේ කාලය අතරතුර  චීනය සමඟ ඔහු ගොඩනගාගත් සම්බන්ධතාවයන්ගෙන් සමාජයට ලැබිය යුතු ප්‍රතිලාභ පුද්ගලිකව ප්‍රයෝජනයට ගන්නවා. ඒ හින්ද තමයි චීනෙන් ලංකාවට ලැබුණු සටන් කලා ශිෂ්‍යත්ව ටික ඔහුගෙ ශිෂ්‍යයන්ට, බැද්දෙවිතානලට චීනෙට ගිහින් ඉගෙන ගන්න ලැබෙන්නෙ සහ ලංකාවට ඇවිත් ප්‍රසන්නගේ ගැලවීම පිණිස දායක වෙන්න ලැබෙන්නෙ. මේ සන්දර්භය ඇතුලෙ චීන සටන් කලාව වැඩි මහන්සියක් නැතුව සිවිල් භාවිතයට ගේන ප්‍රසන්න තමන්ගේම පුහුණු උපදේශකයන්, තාක්ෂණික උපදේශකයන් ගැටළුවක් නැතිව කරගෙන යන්නේ මේ ශිෂ්‍යයන්ට පින් සිද්ධ වෙන්න කියන එක ඒ ශිෂ්‍යයෝ සමහර විට දන්නේ නෑ. මොකද ඒ බව  ප්‍රසන්නගෙ සටන් කලාවට අදාල තාක්ෂණික භාවිතාවන් විවර වන වෙලාවෙදි සමහර අයට වැටහිලා තියෙනවා තාක්ෂණික උපදේශකයෙක් වන ඔහු චීන සටන් කලාවේ ආයුධයක් වන පළල් කඩුව (Broadsword) අල්ල ගන්න හැටි සහ එය චලනයේ, භාවිතාවේ යෙදෙන ආකාරය නොදන්න වග හෙළි කල යුත්තේ එය සමාජීය වගකීමක් වන නිසා ඇරෙන්න පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් නොවිය යුතුයි. ඔහු ලඟදි ප්‍රකාශයට පත් කරන චීන සටන් කලා විද්‍යා පොතේ ඔහු මෙහෙම කියනවා 'විද්‍යාව යනු ස්වභාව ධර්මයා ය, අප අනාගතයට මුහුණ දීමට නම් වර්තමානයේ ස්වභාව ධර්මයාට අනුකූලව කටයුතු කළ යුතුයි.' (චීන සටන් කලා විද්‍යා අධ්‍යාපනය - සටන් විද්‍යාව හා කලාව අතර ඇති සම්බන්ධය පරිච්ජේදය) 



චීන සටන් කලාවම යනු ස්වභාව ධර්මය තුළ එයට විරුද්ධව මිනිසා ගෙන ගිය අරගලයේ ප්‍රථිඵලයකි. ස්වභාව ධර්මය තුළ මිනිසාට එල්ලවූ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා  චීන සටන් කලාව සංස්කෘතික ගොඩනැංවීමක් ලෙස (නිෂ්පාදනයක්) බිහි විය. සමාජය තුළ වන දර්ශනය, කලාව, සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, මානව විද්‍යාව ආදී වචන වලට ඇති සමාජ පාඨය නොගෙන ඔහු තමන්ගේ පොත තුල පඹ ගාලක පැටලීම ගැන අපට කළ හැකි දෙයක් නැතත් "මට ප්‍රසන්නගෙ පොත කියවල 'වූෂු' ගැන දැනගෙන ඒ ගොල්ල සමඟ (වූෂු සම්මේලනයේ අනෙක් සංගම්) වැඩ කරන්නට එන්නම් " කියන ක්‍රීඩා අධ්‍යක්ෂිකා පද්මා සිරිවර්ධනට අපි මොනවද කියන්නේ? ප.එ.ප. දැරණියගල කියන ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂකවරයා ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක ක්‍රීඩා කියල වැඩි වෙහෙසකින්, අධ්‍යනයකින් ලියපු පොතේ (කෞතුකාගාර ආයතනයේ ප්‍රකාශණයක්) සමස්ථයම තම පොත තුළ පර්ච්ජේද ගණනාවකට උපුටා ගන්නා ප්‍රසන්න මහතා ඒ උපුටා ගැනීම් ගැන බිංදුවක් හෝ සඳහනක් නොකරන්නට වග බලා ගන්නෙ අහම්බයකින් නොවෙයි. ඉතින් මේ මොකවත් දන්නෙ නැති ක්‍රීඩා අධ්‍යක්ෂිකාව 'අන්දන්න' ප්‍රසන්නට සමනළ වර්ණයෙන් තමන්ගෙ ජායාරූපය මුල්ම පිටුවට දාගන්න ඒ පොතෙන් හැකි වෙනවා. ඉතින් මේ සමස්ථයම සමාජය හමුවේ විවර විය යුතු මොහොත එළඹිලා. ඒ ඇයි?

චීන සටන් කලාවට  (Wushu) රාජ්‍ය මැදිහත් වීමක් සහිතව  (ක්‍රීඩා අමාත්‍යංශයේ) කටයුතු කරන මෙම සන්දර්භය ඉහත අදාල තත්වයන් සපේක්ෂව වටහා ගත යුතුය. 1993 ක්‍රීඩා අමාත්‍යංශය යටතේ වූෂු සම්මේලනය පිහිටුවීමට කටයුතු කරන්නෙ අපි ඉහත කථා කරපු මානෙල් ධර්මකීර්ති, නයනානන්ද එදිරිසිංහ ප්‍රමුඛ හොන්ග්ෂි වූෂු සංගමයත්; ප්‍රසන්න ජයවීර ප්‍රමුඛ ජාතික වූෂු මධ්‍යස්ථානයත්. ලාංකීය පරිසරය තුළ ඒ මොහොත තුළ වූ බහුතර වූෂු සංගම් (මෙම සංගමයන් ඉහත කී ඓතිහාසික තත්වයන් පදනම් කර ගනිමින් බිහි වූ ඒවා බව අවධාරණය කළ යුතුයි.) නොසලකා, ඒවායින් මතුව ආ විරෝධයන් නොතකා ඉහත සංගමයන් දෙකෙහි ආධිපත්‍යය යටතේ ජාතික වූෂු සම්මේලනය පිහිටුවනු ලබනවා. ඒ මඟින් අන් සංගම් වලට ව්‍යවස්ථාපිත සීමාවන් පනවා හීලෑ කිරීමටත්, තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවීමටත් මොවුන් කටයුතු කරනු ලබනවා. මේ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යංශයට ඉදිරිපත් කරන විරෝධයන් (වූෂු එකමුතුව නැමැති වූෂු සංගම් වල බහුතර සංගම් නියෝජනය) පවා නොසලකා හරිනවා. පසුව ශ්‍රී ලාංකීය වූෂු ක්ෂේත්‍රයට ලැබෙන ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිලාභ පුද්ගලිකව බෙදා ගන්නවා. නමුත් අනෙක් සංගම් නිරන්තරව ක්‍රීඩා අමාත්‍යංශය සමඟ කරන අරගලය නිසා එම තත්වය නොසලකා හරින්න බැරි වෙනවා. අමාත්‍යංශය ඒ සඳහා මැදිහත් වෙන්නෙ ඊට පස්සෙ නමුත් ඒ මැදිහත්වීම මේ මොහොතේත‍් වර්ධනීය ස්වරූපයක් පෙන්වන්නේ නැහැ. ඒකට බලපාන ගොඩක් දේවල් ඉහත ඉතිහාස කථාව තුළ තියෙනවා. 

ලාංකීය පරිසරය තුළ මේ මොහොතේ ක්‍රියාත්මක වන බහුතර චීන සටන් කලාවට සම්බන්ධ ක්‍රියාකාරීත්වයන් වල මූලයන් හට ගැනුනෙ ඉහත ඉතිහාසය අස්සෙ. ඉතින් ප්‍රසන්න ලඟ තියෙන ජාත්‍යන්තර වූෂු සම්බන්ධතා (IWUF, AWUF) හා ඒවා තමන් වෙතට ලබා ගැනීමට මානෙල් ගෙනියන සීතල යුද්ධය මානෙල් කියන්නෙ තමන්ගෙ හිතවතුන්ට විතරයි. ඒ අතරතුර මේ සම්බන්ධතා ටික රැක ගන්න ප්‍රසන්න ගෙන යන අරගලයට මේ මොහොතේ මානෙල් ගෙ සමාජ-දේශපාලනික සම්බන්ධතා ටික අවශ්‍ය බවත්, එය මේ මොහොතේ තමන් ඉතාමත් ඉවසිල්ලෙන් කළ යුතු බවත් ප්‍රසන්න තමන්ගෙ ශිෂ්‍යයින්ට කියන යථාර්තය අපට විනිවිද දකින්න වෙනවා. එහෙම නැතිව ක්‍රීඩා අමාත්‍යංශයේ ශ්‍රවණාගාරය ලඟට එව්ව ප්‍රසන්නගේ 'තග් මැර බලකාය' හෝ 1998 නිලවරණයට ප්‍රසන්න ජයවීර සභාපති ලෙස හා මානෙල් ධර්මකීර්ති ලේකම් බවට පත්වෙන්න තියෙන ඉඩ කඩ කිසිසේත් තේරුම් ගත නොහැකිය. ඉතින් මේ අභියෝගයන්ට මුහුණ දිය යුත්තේ සවිඥාණිකව යන වග පමණක් ලාංකීය වූෂු ශිල්පීන්ට මතක් කළ යුතුය.


මහේන්ද්‍ර කුමාර
මාතොට' සඟරාවේ 1998 අප්‍රේල් කලාපයේ පළ වූ ලිපියකි

මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.



  
 
  

2 comments: