Thursday, August 12, 2010

වූෂූ නිර්මාණාත්මක විද්‍යාවක් ලෙස.




කෙසේ හෝ ඔබ ඉදිරිපිට ඇති පුටුවට පහර දී විනාශ කරන්න යැයි ඔබට කවුරුන් හෝ පැවසුවොත් ඒ සඳහා ඔබට කොපමණ කාලයක් ගත ‍වෙයිද...?


තප්පර කිහිපයක්.... ඔව්


ඔබට පුටුවක් සාදා දෙන්න යැයි යමෙකු පැවසූ විට ඔබට ඒ සඳහා කොපමණ කාලයක් ගත වෙයිද?


කොහොම වුණත් ඒ කාලය ඔබට පුටුවක් විනාශ කිරීමට ගත වන කාලයට වඩා බොහෝ සෙයින් වැඩියි...



විනාශ කරනවාට වඩා අමාරුයි.


වැඩි මහන්සියක් දරන්න වෙනවා.


මේ කථාව මිනිසෙකුටත් අදාලයි. විනාශ කරන්න ලේසියි. ගොඩනගන්න අමාරුයි. වැඩි මහන්සියක් වෙන්න වෙනවා.


චීන සටන් කලාව ලාංකීය සමාජයට විවෘත වෙද්දී ලාංකීය සමාජය මත වූ ඌනතාවයන් නිසාම එය "විනාශ කිරීම" සඳහා වන දෙයක් විදිහට වටහා ගන්නවා. ලාංකීය සමාජය තුළ චීන සටන් කලාව (Wushu or Kung fu) දිශානත වෙන්නේ සටන සඳහාම ශරීර ශික්ෂණය කිරීමට. ප්‍රථිඵලය වන්නේ 'සටන්' සඳහා ශික්ෂණය කරන මේ ශරීර අවසානයේ සමාජීය අරුතකින් සමාජ විරෝධී වීමයි. ලාංකීය සමාජය තුළට චීන සටන් කලාව කාවද්දන්න උත්සාහ කරපු හැම පුද්ගලයෙකුටම, සංවිධානයකටම මේ දෙයට සංවේදී වන්නට නොහැකි වන්න එක හේතුවක් තමයි මේ 'සටන්' සඳහා තම තමන්  කරන නිෂ්පාදනයන් (Production) තුළ වුන පනහේ, සියයේ, දාහෙ නෝට්ටු......


අනෙක ලාංකීය සමාජයට පාරම්පරිකත්වය විසින් උරුම කරලා දීපු අලසකම සහ කුහකකම.....; ඒ විතරක් නෙවෙයි පාරම්පරිකත්වය විසින්ම උරුම කරල දීපු 'මම' නැත්නම් 'මගේම, තමන්ටම, මටම' කියන පුද්ගල උවමනාවන් තුළ ගිලීමේ සමාජීය ඛේදවාචක ය.



ඉතින් මේ කාරණා හින්දා චීන සටන් කලාව පිළිබඳ ලංකාවේ මැදිහත් වුන මිනිසුන් එක්කෝ සල්ලි හොයා ගත්තා. නැත්නම් සටන් කලාවේ තියෙන දක්ෂතාවයන් සමාජයට ඉදිරිපත් කරලා සංකේත බලයක් තමන්ගේ ශරීර වටේ දවට ගත්තා. "මානවවාදී කලාවක්" විදිහට මිනිසුන් දහස් ගණනකගේ, ලක්ෂ ගණනකගේ මහන්සිය සමඟ පෝෂණය වුණ මේ කලාව ලංකාවෙදි තම තමන්ගේ පුද්ගලික ගිණුම් වල හයි හත්තිය පෙන්නන්න පුළුවන් ක්ෂේත්‍රයක් වුණා. 

පෙරදිග රටක් වූ චීනයේ බිහි වූ වූෂු කලාවෙහි ගැඹුර තුළ කිමිදෙන්න යමෙක් උත්සාහ කලොත් මෙම කලාව තුල වන සමාජීය වටිනාකම් ග්‍රහණය කර ගන්න එතරම් අමාරු නැහැ. ලංකාව වගේ ඌන සංවර්ධිත රටක (චින්තනයේ ඌනතාවයත් සමඟ) චීන සටන් කලාව - වූෂු 'සටන' කියන තැනට ඌනනය වුණාට එය සටන් කලාවේ සංවර්ධනයත් සමඟ ද්විතියික තැනකට පත් වුණා. වූෂු කලාවේ සංවර්ධනය තුළ ප්‍රමුඛත්වය ලැබෙන්න වුනේ 'මිනිස් ශරීර ගොඩනැගීම' කියන දෙයට. හරියට කියනවා නම් මෙම කලාව 'ශරීර සංස්කෘතියක්' (Body Culture) දක්වා සංවර්ධනය වුණා. චීන සටන් කලාව ලංකාව තුළ ජීවිත විනාශ කරන දෙයක්. චීනය තුළ මිනිස් ශරීර ගොඩනඟන විද්‍යාවක්.මේ දෙක අතර වෙනස අප පැහැදිලිව වටහාගත යුතුයි.



මේ තත්වය අවබෝධකර ගත් පුද්ගලයින්ට හරි, සංවිධානවලට හරි ලාංකීය සමාජය තුළ කරන්න තියෙන වැඩ කොටස තමයි මේ ඌන සංදර්භයන් වටහා ගැනීම. අනෙක සමාජීය අරුතකින් දියුණු සන්දර්භයක් ගොඩ නැඟීම.


චීන සටන් කලාව - වූෂු තුළ මිනිසෙකු කායික සහ මානසික (Body and Mind) කියන අංශයන් දෙකෙන්ම ගොඩනඟනු ලබනවා. ඒ සඳහා චීන පාරම්පරික වෛද්‍ය කලාව, (Traditinoal Chinese Medicine) චිගොන්ග් ජීව අභ්‍යාස කලාව (Qi Gong) සහ සටන් කලා දර්ශනය (Martial Art Phylosophy) භාවිතා කරනවා. ඉතින් මේ කලාවෙන් මිනිහෙකුට ලෙඩෙක් නොවී ඉන්න පුළුවන්. ලෙඩෙක් වූ කෙනෙකුට ඉන් ගොඩ එන්න පුළුවන්.


ලාංකීය සමාජය තුළ වූෂු කලාව 'සටන සහ ක්‍රීඩාව' සඳහා වූ දෙයක් පමණයි කියන පටු තැනින් ගලවා එය ඊට වඩා පුළුල් විද්‍යාවක් වශයෙන් සමාජගත කල යුතුයි. චීනය තුළ පුහුණු වන අභ්‍යන්තර සටන් කලාවන් (Internal Martial Art) සහ අභ්‍යන්තර ව්‍යායාම් (Internal Exercises) විශේෂයෙන් අපේ සමාජයේ වයස  සහ ගැහැණු පිරිමි භේදයකින් තොරව ග්‍රහණය කරගනු ලබන තත්වයක් තුළ නීරෝගිමත් මිනිසුන් බිහිවීමේ අඩි තාලම දැමිය හැකි ය.


චීනය තුල මේ මොහොත වන විටත් වූෂු කලාවේ සිදු කරනු ලබන සංවර්ධනයට හොඳම උදාහරණය තමයි 'මූලාන් චුවාන්‍'(Mulan Quan) නැමැති අභ්‍යන්තර ශෛලියේ ව්‍යායාම (මෛය අභ්‍යන්තර සටන් කලාවක් ද වෙනවා) ප්‍රචලිත කිරීමේ වෑයම. මෙම කලාව තුළ ශරීර නිරෝගීභාවය වයස් පරතරයකින් තොරව ඉලක්ක කරනු ලබනවා. එය සමාජීය අර්ථයකින් ඉතාම ප්‍රගතිගාමී දෙයක්.


අරුණ ශාන්ත

1997 සැප්තැම්බර්


මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.




1 comment:

  1. සටන් කලාවේ උතුම් පරමාර්ථය සාක්ෂාත් කොට සමස්ථ ලාංකික ජන සමාජය කායික හා මානසික සංවර්ධනයට ලක් කොට අන්තර් සමාජ සම්බන්ධතා වලට මඟ පෙන්වීමේ අරමුණින් "සමස්තලංකා වූෂු සහ චිගොන්ග් සංසදය" බිහි කෙරිනි. good work Aruna sir.

    ReplyDelete