Monday, August 9, 2010

චිගොන්ග් - Qi Gong හඳුන්වා දීම.


මිනිසා සොබා දහම හදුනා ගැනීම හා ඒ තුලට අනුගත වීමට දරනු ලැබූ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් මානව වර්ගයාගේ ඉතිහාසය ගොඩ නැගී ඇත. එසේම සොබා දහමට අනුගත වීම තුල මිනිසා පරිපූර්ණ වීමට තව දුරටත් උත්සාහ කරයි. මෙම උත්සාහයන්ගේ ප්‍රතිඵලය වන්නේ අඛන්ඩව මානව සමාජය වර්ධනය වීම හා මිනිස් ශරීරය සංවර්ධනය වීමයි. මිනිස් ශරීරය සහ මානව සමාජය පරිනාමයකට ලක් කල හැකි චිගොන්ග් ස්වභාවික සංසිද්ධියක් ලෙස අධ්‍යයනය කිරීම‍ට පිවිසෙමු.




චීන භාෂාවට අනුව චී-Qi යන වචනයෙහි අර්ථය මිනිසා ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයයි. එසේම ගොන්ග්-Gong යන්නෙහි අර්ථය ව්‍යායාමය(Exercises) යන්නයි. චිගොන්ග් ව්‍යායාම සලකා බැලීමේදී "චී" ඉහත ආකාරයට පමණක් තේරුම් ගැනීම නිවැරදි නොවේ. චීනයේ දී එය අභ්‍යන්තර ශක්තිය,  විශ්ව ශක්තිය ලෙසද, ජපානයේදී අභ්‍යන්තර බලය ලෙස ද‍, ඉන්දියාවේදී කුණ්ඩලිනී ශක්තිය ලෙස ද හඳුන්වනවා.

අවුරුදු 5,000 කට වඩා පැරැණි ඉතිහාසයක් ඇති චිගොන්ග් ශිල්පය පැරැන්නන් විසින් විවිධ නම් වලින් හඳුන්වා ඇත. එනම්;

1.ආශ්වාස හා ප්‍රාශ්වාස කිරීමේ ව්‍යායාම.
2.වාඩිවී කරන භාවනා.
3.චී - Qi සංසරණය වර්ධනය කිරීමේ ව්‍යායාම                                                                               ලෙසය.


මෙසේ විවිධ නම් වලින් හදුන්වනු ලැබූ චිගොන්ග් ව්‍යායාම තුලින් මූලිකව සිදුකරනු ලබන්නේ සෑම මිනිසෙකුගේ ම ශරීරයේ අදෘශ්‍යමානව පවතින "චී"ශක්තිය වර්ධනය කිරීමයි. දිනපතා දැඩි අධිෂ්ඨානයෙන් සිදුකරන පුහුණුව තුල ශරීරයේ  වර්ධනය වන "චී" ශක්තිය කෙසේ මනුෂ්‍යයා සංවර්ධනය කරයි ද යන්න දැන් අපි සලකා බලමු. 






ප්‍රධාන වශයෙන් ජීවියා නිරෝගිමත් කිරීම සිදුකරනු ලබයි. රෝග වැළඳී ඇත්නම් ඒවා සුව කරන අතර රෝග වලින් ආරක්ෂා වීම සඳහා රෝග වලට එරෙහි වීමේ ශක්තිය ශරීරය තුල ඇති කරවයි. විනාශ වී ගිය අභ්‍යන්තර පද්ධතීන් නැවත ගොඩනැංවීම මෙන්ම අකාලයේ ජරාවට පත් වීමෙන් වලක්වයි. එසේම ජීවී කාලය දීර්ඝ කිරීම සහ ජීවියා පරිනාමයට ලක් කිරීම සිදු කරයි. දිනපතා ජීවී අභ්‍යාස වල යෙදෙන්නන් වසර 100 ක් ඉක්මවා ජීවත් වීම චීනයේ බහුලව දැක ගත හැක.




මෑතකදී චීනයේ එක් පාසැලක පන්තියක ළමයින් සමඟ කරන ලද පර්යේෂණයකදී ඔප්පු වී ඇති ආකාරයට චිගොන්ග් ව්‍යායාම බුද්ධි වර්ධනය සහ චින්තන නිම් වළලු පුලුල් කිරීමට ඉවහල් වේ. එසේම ක්‍රීඩකයින්ගේ ක්‍රීඩාමය හැකියාවන් වර්ධනය, කලාකරුවන්ගේ කලා හැකියාවන් සංවර්ධනය, රැකියාවක නිරතවන්නන්ගේ වෘත්තීමය දක්ෂතා වර්ධනයට පමණක් නොව මානවයාගේ සකලවිධ හැකියාවන්ගේ වර්ධනයට විශ්ව ශක්තිය වර්ධනය කිරීම වැදගත් වේ.


සමස්ථ ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ ජාත්‍යන්තර උපදේශක මෙන්ම වර්තමානයේ ලෝකයේ සිටින ප්‍රධානතම චිගොන්ග් ගුරුවරයෙක් වන යාන්ග් ඩොන්ග් ලියෑන්ග් (Yang Thung Li Yang) අප සංසදයට චිගොන්ග් හඳුන්වා දෙමින් ප්‍රකාශ කර සිටියේ 'ඔබට දක්ෂ සටන් ශිල්පියෙකු වන්නට අවශ්‍ය නම් වූෂු පුහුණු වන්න, චිගොන්ග් පුහුණු වන්න. ඔබට දක්ෂ චිත්‍ර ශිල්පියෙකු වන්නට අවශ්‍ය නම් චිත්‍ර අදින්න, චිගොන්ග් පුහුණු වන්න. එසේම ඔබට දාර්ශනිකයෙකු වීමට අවශ්‍ය නම් වැඩි වැඩියෙන් අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න, චිගොන්ග් පුහුණු වන්න' යනුවෙනි. මෙම ප්‍රකාශයෙන්ම ඔබට වැටහෙනවා ඇති මෙහි ඇති වැදගත්කම.


මානව සංවර්ධනය සම්බන්ධයේදී  චිගොන්ග් සලකා බැලීමේදී වඩාත් දියුණු සංකල්පයක් ලෙස ක්ෂුද්‍ර හා මහා චලන සැලකිය හැකිය. මානව ශරීරය සලකා බැලීමේදී අපට එය අභ්‍යන්තර සහ බාහිර ලෙස දැකිය හැකියි. ශරීරයේ බාහිරයේ සිදුවන අත් පා සෙලවීම්, කථා කිරීම යනාදී ක්‍රියාවන් මහා චලන ලෙස වර්ග කෙරෙනවා. ශරීරයේ අභ්‍යන්තරයේ සිදුවන දෑ ක්ෂුද්‍ර චලනයන් ලෙස වර්ග කෙරෙනවා. මහා චලනයන් සිදුවන්නට නම් අභ්‍යන්තරික වශයෙන් ඔක්සිජන් සපයා ගැනීම, විද්‍යුත් චුම්භක ක්‍රියාවලිය වැනි ක්ෂුද්‍ර චලන සිදු විය යුතුයි. මෙකී ක්‍රියාවන් වඩාත් කාර්යක්ෂමව සිදු වුවහොත් පමණයි මහා චලනය අපට අවශ්‍ය පරිදි කාර්යක්ෂමව සිදු වන්නේ. 'චී' ශක්තිය සංවර්ධනය ආරම්භ කිරීමත් සමඟ අභ්‍යන්තර ක්ෂුද්‍ර චලනයන්ගේ සංවර්ධනයට මඟ පෑදෙනවා. මේ තුලින් ජීවිතය ඉදිරිගාමී සංවර්ධනයකට ලක් කෙරෙනවා.


චිගොන්ග් හඳුනා ගැනීමේදී චිගොන්ග් වර්ගීකරණය ඉතා වැදගත්. වර්තමානයේ චීනය තුල චිගොන්ග් ව්‍යායාම 396 ක් ප්‍රකාශයට පත්කරල තියෙනවා. මේවා අතරින් බොහොමයක් ප්‍රබල හා ඉතා ජනප්‍රිය ලෙස චීනයේ භාවිතා වෙනවා. දාර්ශනික, අධ්‍යාපන ක්ෂේත්‍ර මත වර්ධනය වූ චිගොන්ග් බෞද්ධ-තාඔයිස්ට්-කොනෆියුසියන් ලෙසත්, වෛද්‍ය හා චීන සටන් කලා චිගොන්ග් මෘදු හා රළු, ස්ථතික හා ගතික ලෙසත් වර්ගීකරණයට ලක් වෙනවා. මේවා අතරින් වඩාත් ජනප්‍රිය තාඔයිස්ට් චිගොන්ග්. සමස්ථ ලංකා වූෂු සහ චිගොන්ග් සංසදය ඔබලාට හඳුන්වා දෙන "නෙයි ජින්ග් ෂි වූ (Nei Qin Zi Wu) චිගොන්ග් ශෛලිය චීනයේ භාවිතා වන ප්‍රබලතම චිගොන්ග් ශෛලීන් 06 න් එකක්. 


ඉහතදී සඳහන් කල පරිදි චිගොන්ග් පුහුණුවෙන් කෙසේ ලෙඩ රෝග සුව වනවාදැයි අපි දැන් විමසා බලමු. චීන වෛද්‍ය කලාවට අනුව මුලු ශරීරය පුරාම දිරා ගිය පත්‍රයක් පිහිටන ආකාරයට දිවයන මාර්ග පද්ධතියක් ඇත. මෙය 'පථ'(Jing) කියාද හඳුන්වයි. 




මේ පථ මත ඉතා සියුම් ස්ථාන පිහිටා ඇත. ඒවා නිලස්ථාන වශයෙන් හඳුන්වනු ලැබේ. චීන වෛද්‍ය කලාවට අනුව නිරන්තරයෙන්ම මෙම පථ ඔස්සේ ගමන් කරන 'චී' ශක්තියට බාධා ඇති වුව හොත් හෝ එම ගමන් කිරීම නැවතුනහොත් ශරීරයේ යින්ග්-යාන්ග් (Ying-Yang) සමතුලිතතාවය බිඳවැටීම නොහොත් ජීවියා රෝගියෙකු බවට පත්වීමක් ලෙස හඳුන්වයි.


 චීන වෛද්‍ය කලාවේ පදනම ලෙස සඳහන් කල හැකි යින්ග්-යාන්ග් සංකල්පය විමසා බලමු. 


මෙම සංකල්පයට අනුව විශ්වය එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ස්වභාවයන්ගෙන් සැදුම් ලද්දකි. සෑම දෙයක් තුලම ද්වි-ප්‍රතිවිරුද්ධ ස්වභාවය පවතී. (අහස-පොළොව මෙන්ම මිනිසා-ගැහැණිය, මෘදු-රළු, බාහිර-අභ්‍යන්තර, උණුසුම-සිසිලස යනාදී වශයෙනි.) රෝගියා නිරෝගිමත් කිරීමට නැතහොත් යින්ග්-යාන්ග් සමතුලිතභාවය ඇති කිරීම සඳහා බාධාවී ඇති හෝ නැවතී ඇති ශක්තිය ගලා යාම සුපුරුදු තත්වයට පත් කළ යුතුය. මේ සඳහා නිලස්ථාන වලට කටුගැසීම (Chinese Acupuncture), තෙරපීම, සම්භාහනය හෝ 'චී' ශක්තිය රෝගියා වෙත පිට කිරීම සිදු කරනු ලබයි.






චිගොන්ග් සම්බන්ධව ඔබලා නොසිතූ නව නිම්නයකට ගෙන ගියහොත් පෙරදිගවාසීන් වශයෙන් අප අසා තිබෙනවා මිනිසුන් අහසෙන් ගිය කථා, ජලයේ ඇවිදගන ගිය කථා. අපි මෙවැනි දේ චිගොන්ග් තුලින් විමසා බලමු. 




ඉහතදීත් සඳහන් කල ආකාරයට චිගොන්ග් මිනිසාව කායිකව හා මානසිකව සංවර්ධනයට ලක් කරනවා. මෙසේ කායිකව හා මානසිකව ශික්ෂණයට පත් වූ පුද්ගලයෙකුට විශ්මිත දේ කිරීමේ හැකියාවක් උදා වෙනවා. චීනයෙන් වාර්තා වන ආකාරයට නොකැපෙන ස්වභාවයකට ශරීරය පත් කිරීම, බැලුම් බෝල, බිත්තර මත ඇවිදීමේ හැකියාව, නොසිතන තරම් උඩපැනීමේ හැකියාව මෙන්ම චිගොන්ග් පුහුණුවෙන් තම ශරීරය තුලින් වෝල්ටීයතාවය 220 ක් වූ විදුලි ධාරිතාවක් නිපදවාගෙන විදුලි බුබුලු දල්වන්නන් සහ තම හිසෙන් යකඩ කම්බි, කලු ගල් කුට්ටි කඩන්නන් ලෙස තම අභ්‍යන්තර ශක්තිය බාහිරයට ගෙනවිත් ප්‍රදර්ශනය කරමින් සිටිනවා. 


බුද්ධියේ පුහුණුව ඇරඹීමෙන් අනවශ්‍ය දේ ඉවත් කර සැබෑ දේ මතු කර ගත හැකියි.


දැඩි අධිෂ්ඨානයෙන් චිගොන්ග් පුහුණුවට පිවිසෙන්න. එය ඔබව සම්පූර්ණ කරාවි.






මෙය සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ අධ්‍යාපන අංශය 1995 දී පළ කල ලියවිල්ලකි.


මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.










4 comments:

  1. http://www.4shared.com/document/_s2dd65F/Qi_Gong_-_Correspondence_Progr.htm

    ReplyDelete
  2. http://allceylonwushu.blogspot.com/2007/10/medical-qigong-for-healthy-life.html

    ReplyDelete
  3. මට දැනගන්න දෙයක් තියෙනවා.... දැන් අපි බුදු දහමේ කරන ආනාපානසති සමථ භාවනාවෙනුත් කරන්නෙ මේ චීන අය කරන දේම නේද??

    චීන අය පන දාගෙන කරන්න දගලන දේ ආනාපානසතියෙන් ලේසියෙන්ම කරගන්න පුලුවන් නේද??

    ReplyDelete
    Replies
    1. ඔව් පුලුවන්
      මේක තවත් එක විදිහක් මේකෙ සාර්ථකත්වෙ ඒ ගොල්ලො මේ වෙනකොට ප්‍රායෝගිකවම ඔප්පු කරලා තියෙනවා. ඒ උනාට බෞද්ද ඔයා මම අපි ඒවා දැනගෙන හිටියට කවදාවත් කරන්නෙ නැනේ.

      Delete