Tuesday, August 10, 2010

සටන් කලාව අළුතෙන් නිර්වචනය කිරීම.


"ජලයේ පාවෙන කොටයකට පහර දෙන්න.
 සෙලවෙන්නේ කොටය ද ජලය ද?" 


සටන් කලාව සහ ලංකාව අතර සම්බන්ධය විකාර සහගත එකකි. එය තුල ඉස්මතු කෙරෙන්නේ පරිපූර්ණ මිනිසුන් බිහි කිරීම වෙනුවට නළුවන් හා චන්ඩින් බිහි කිරීම සඳහා ඊට ඇති හැකියාව යි. මේ නිසාම ලංකාවේ දී සටන් කලාව පිළිබඳ විධිමත් කථිකාවක් නැත්තේ සමාජ මතවාදී අක්ෂය තුල කිරීමට වැඩක් සටන් කලාවට නැතිය යන පටු අර්ථයෙනි. නමුත් සටන් කලාව ඉවහල් කරගෙන බිහිවන චන්ඩින් හා නළුවන් සමාජ මතවාදය තුල තම අනන්‍යතාව ප්‍රතිනිෂ්පාදනය කර ගැනීම සාමාන්‍යකි.


'මිනිහා මාෂල් ආර්ට් දන්නවා. අහවලාට ගැහුවේ මිනිහනේ. මිනිහා ටෙලියකත් ඉන්නවා. කොහොමත් මිනිහා සමාජය ගැන හිතන දේවල් අපි සීරියස් සලකන්න ඕන' මතවාදී ක්ෂේත්‍රයටඅයත් නැති  'ගහගන්න' විදිහක් සේ සැලකෙන සටන් කලාව විසින් මතවාදී ක්ෂේත්‍රයට බලපාන සමාජ බලයක් සහිතවුන් නිර්මාණය කරන යාන්ත්‍රණය මෙයයි.

සටන් කලාව හා සමාජය අතර සම්බන්ධය ගැන වෙනස් විදියක කථිකාවක් ගොඩනගන්න අපට ඕනෑ කරන්නේ එවිට ඒ තුළ මේ කියූ ජාතියේඈයින්ව විග්‍රහ කර ගන්න තාක්ෂණයක් නිෂ්පාදනය වන නිසායි. ෂඕලින් පන්සල දැක තිබේ යැයි කියා ලංකාවේ ඈයින්ට ගහගන්න උගන්වන්න සුදුසුකම් සපයා ගන්නා මේ අයට එවැනි තාක්ෂණයක් ඉදිරිපිට දී ගැලවෙන්න දුෂ්කරවීම ස්වභාවික ය.



ඒ සඳහා අපේ මැදිහත්වීම ක්‍රමානුකූල සන්දර්භයක් තුල වර්ධනය කිරීම අපේ උවමනාවයි.


දොරගුළු වේයන් නොකයි.


විධිමත් ආහාර ගැනීම ගැන ලංකාව වැනි රටක කථා කරන්නට පටන් ගැනීම විහිළුවක් විය හැක‍. අපි ඒ විහිළුව කරමු.


මිනිසාට තම ශරීරය පවත්වා ගැනීමේ ක්‍රියාදාමයේ දී විවිධ විද්‍යාවන් භාවිතා කිරීමට සිදුවේ. ඒවා සොයා ගැනෙනුයේ ජීවිතය අරගලය බවට පත් වන විට ය.


නූතන විද්‍යාවේ ජයග්‍රහණ බොහොමයක් ලබා ගනුයේ මිනිසා ජීවිතය සමග කරනු ලබන අරගලයන් තුළට වඩා පශ්චාත් කාර්මික  සමාජයේ වෙළඳපොල සඳහා ය. ඒ නිසාම වෙළඳපොල මූලික කිරීමේ හැකියාව සහිත සොයා ගැනීම් මෙන්ම යුධමය සොයා ගැනීම් ද සීඝ්‍රයෙන් වැඩිවේ. 

ආහාරය පිළිබඳ සංස්කෘතියක් සහිත රටක් වන චීනය තුල ආහාර සම්බන්ධව යින් යාන්ග් (Yin Yang)ලෙස හැඳින්වෙන විද්‍යාවක් තිබේ.

Yin Yang යනු ස්වභාවයකි. Yin ස්වභාවය වන නමුත් එහි Yang අඩංගු වන අතර Yang ස්වරූපය වන නමුත් එහි Yin අඩංගු වේ. Yin තුල Yang අඩංගුය.Yang තුල Yin අඩංගුය. 

මිනිස් සිරුරට අදාලව ගත් විට Yin සහ Yang අතර සමතුලිතභාවය බිඳී යාම සිදු විය හැකි ආකාර කිහිපයකි. විෂ බීජ, සෘතු විපර්යාස ආදී බාහිර හේතු (External Factors)සහ හැඟීම් (Imotions) ආදී අභ්‍යන්තර හේතු (Internal Factors) නිසාද මෙම සමතුලිත බව බිඳ වැටෙයි. රෝගී තත්වයක් ලෙස හඳුනා ගන්නේ ‍ශරීරයේ මෙම සමතුලිතභාවය බිඳීයාම යි. Yin සහ Yang ප්‍රතිවිරුද්ධතාවය තුල වෙනස් වෙමින් පවතියි. ශරීර අභ්‍යන්තරයේ Yin සහ Yang සමබරතාවයට බලපාන්නේ ගනු ලබන ආහාර වල Yin සහ Yang සමබරතාවය යි. මෙය ශරීරය පාලනය කිරීමේ ලීවරයක් සේ ක්‍රියා කරයි.


මතවාදය හා ශරීරය

මතවාදය විසින් ශරීර තත්වයන් පාලනය කිරීමට අදාල තත්වයන් සාකච්ජා කළ යුත්තේ වෙනම ප්‍රවේශයක් තුළ ය.

නිෂ්පාදන බලවේගයන්ගේ ඌන සංවර්ධිත සමාජයක, දැනුම ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නයක් වූ විටක සහ අදහස් නිෂ්පාදනය කිරීමේ බලවේග (උදා;විද්‍රයුත් සහ මුද්‍රිත මාධ්‍ය) අතිශයින් දියුණු වූ අවධියක දී සමාජ විපර්යාසයක් ගැන බලාපොරොත්තු වන කොටස් මතවාදයන් පිළිබඳව වටහා ගත යුතු ය. එහි වෙනස් වීම් තම ජීවිතය බවට පත්වීම පිළිබඳව වටහා ගත යුතු ය. අපේ ජීවිත විග්‍රහ වන්නේ මෙම මතවාද වලිනි.

සටන් කලාවට අදාලව මෙය ගලපා ගැනීම අපේ උවමනාවයි.



සටන් කලාව පිළිබඳ ලාංකීය සන්දර්භය තුල දී සටන් කලාව පිළිබඳ මතවාදයන් නිපදවී ඇත්තේ එහි පූර්වගාමීන්ගේ ජීවන යථාර්තයන් ඇතුලත ය. සතුරාට දෙකක් ඇනීමට ශිල්පයක් දැන සිටීම සීරියස් දෙයක් හැටියට සමාජ විඥාණය තුල වටිනාකමක් ඇති වූ විට එය විසින් සටන් කලාවේ අරමුණු ව්‍යාජ ලෙස ප්‍රතිනිෂ්පාදනය කරයි. මේ නිසා 80 දශකයේ මැද භාගයේදී එම්.බී.ඩී. සිල්වාට දෙකක් අනින්නට 'තරුණයා' පත්‍තරය හරහා චැලෙන්ජ් කරන සීවලී මාස්ටර් ට සටන් කලා වෙළඳපොල තුල ගැනුම් කරුවන් වැඩිවේ. ඒ චැලෙන්ජ් එක ගැන නිකම්ම පත්තරේට ලියන මානෙල් ධර්මකීර්ති ගේ අනන්‍යතාවය ඒ වෙළඳපොල තුළ මාර්ෂල් ආර්ට් දන්න පත්තරකාරයෙක් විදිහට ප්‍රතිනිෂ්පාදනය වෙනවා. 80 දශකයේ සමාජය තුළට කඩා වදින අදහස් නිෂ්පාදනය කිරීමේ අළුත් බලවේගයන් විසින් සටන් කලාව ගැන වෙළඳපොල මතවාදය අළුතෙන්ම නිපදවනවා.

90 දශකයේදී පෙරට යන්නේ මෙම තත්වයේම කාලනුරූපී විකාශනයයි. දැන් සටන් කලාව සඳහා වන ඉල්ලුමට සරිලන සැපයුම් සඳහා වෙළඳපොල තරඟය මුහුකුරා ගොස් තිබේ. බෲස්ලී ගේ චිත්‍රපට වැඩියෙන් බලා සටන් කලා ගුරුන් වන්නට 80 දශකයේ මුලදී තිබූ ඉඩ කඩ අහෝසි වී යාම ඉක්මන් කරමින් රූපවාහිනිය ෂාඕලින් චමත්කාරය මැද සාලයට ගෙනෙයි.





එතැන් සිට ෂාඕලින් පන්සල ඉස්සරහින් ගිය ඈයින් ද සටන් කලා වෙළඳපොල තුල අළුත් ආයෝජනයක් අරඹයි. සටන් කලාව තුළ අළුත් අධිනිශ්චයන් නිර්මාණය කරන්නේ රූපවාහිනිය විසිනි. මාස්ටර් බෲස් ලී (Bruce Lee) ට ඇති සමීපතාවය ඔප්පු කරන්නට සීව ලී (Seewa Lee) ලෙස නම් ලිවීම යල් පැන යද්දී ෂාඔලින් පූජකයින්ට වෙස් මාරු කර ගත් අළුත් පරම්පරාවක් Y.M.B.A. ශාලාවන් ෂාඕලින් ශාඛාවන් බවට පෙරලා ගැනීම අරඹති.

 පාරක දී ඇඟේ හැපෙන එකාටත් අම්බානක ශිල්ප දැක්වීම සඳහා සටන් කලාව ඉගෙන ගැනීම සහ ඉගැන්වීම වෙනුවට බීටා කැම් තාක්ෂණයෙන් ටෙලි නාට්‍ය නළුවන් වීමේ ඉක්මන් මඟක් බවට සටන් කලාව උගෙනීම පිළිබඳ සමාජ මතවාදය පරිණාමය වන්නේ රූපවාහිනියේ අනුහසිනි.




දැන් සටන් කලාව, ජීවිතය ඉගන ගැනීමේ මඟක් හා විනයක් යන්නෙහි සිට ටෙලි නාට්‍ය රඟපෑම් පාඨමාලාවක් බවට පෙරළී ඇත.

සටන් කලාව ගැන වෙනස් ආකාරයක කථිකාවක් ගොඩනැගීමට අපට අවශ්‍ය වී ඇත්තේ මේ ව්‍යාජ වෙස් පෙරළීන් පිටු පස පවත්නා යථා හේතූන් නිරාවරණය කිරීමේ උවමනාව සඳහා ය. අපේ ආදර්ශ පාඨය වන්නේ "සටන් කලාව යනු ජීවිතය" යන්න ය. ජීවිතය පෙළන හා ජීවිතය තුල ගැටෙන සමස්ත කොන්දේසීන් සටන් කලාවේ ද විෂය ‍ක්ෂේත්‍රය වේ. 

එය ප්‍රගුණ කිරීම වැදගත් වන්නේ පොදු මහත් මිනිස් සම්බන්ධතාවයන් අතර වන පරස්පරතා කාය ශක්තිය මත විසඳා ගැනීමේ මාර්ගයක් වශයෙන් නොවේ. නමුත් ඊට ප්‍රතිවිරුද්ධ ලෙස සමාජය තුළ නිර්මාණය වන පොදු මිනිස් එකතූන් සඳහා නිරෝගී නිර්මාණශීලීත්වයක්, සාමූහික විනයක් හා මිනිස්මය හැඟීම් සමුදායක් සම්පාදනය කරන්නා වූ අර්ථවත් විද්‍යාවක් වශයෙනි.

"නව දෙයට ඉඩ දී පැරැණි දෑ සිය කැමැත්තෙන් ඉවත්ව නොයයි. එය නව දෙය සහ පැරැණි දෙය අතර අනවරත අරගලයක් තුලින් පමණක් විසඳෙන දුෂ්කර ක්‍රියාදාමයකි."

මිටියාවත් බලන්නට නම් කඳු නැගිය යුතුය‍.







ප්‍රසාද් ජයවීර  

1998 ජනවාරි

මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.

2 comments: