Wednesday, August 18, 2010

සටන් කලාව මෙතන! ජයන්ත චන්ද්‍රසිරි මෙහෙ එන්න.


බොහෝ විට ඔබ 'දඬුබස්නාමානය' නම් ටෙලි නාට්‍ය නැරඹූ චරිතයක් විය හැක. අපි මේ කථා කරන්න යන්නේ ශරීරය සහ සංකල්ප ලෝකය අතර පවතින පරතරය ජයන්ත චන්ද්‍රසිරි නම් ටෙලි නාට්‍ය පොර විසින් තමන්ගේම යහපත සඳහා කොතරම් පාවිච්චි කරාද යන්න ය. දඬුබස්නාමානය නම් ටෙලි නාට්‍ය ප්‍රචාරය වීමට පෙරත්, ඊට පසුත් කොළඹ කේන්ද්‍රීය පුවත් පත් විසින් එය 'සටන් කලාව' ගැන හොඳ භාවිතාවක් සමාජයට ලබා දෙන බැව් පුන පුනා ප්‍රකාශ කලේ ය. එහි අතුරු ඵලයක් ලෙස සේනක විජේසිංහ නම් ටෙලි තරුව ලාංකීය ටෙලි සංස්කෘතියට කැඳවා ගෙන එන ලදී. මේ දේවල් 'මෙහෙම වීම' සහ මේ දේවල් 'එහෙම වීමෙන්' සමාජයට ලැබුණ ත්‍යාග, වට්ටම් ගැන කථා කරන්න තමයි මේ රචනාව ලියවෙන්නෙ.





ලංකාවෙ මේ අපි ජීවත් වෙන සියවසේ ඉතිහාසය හාරල බැලුවම මිනිස්සු කොට්ඨාශ දෙකක් ඉන්නවා.


'අපේ මොළේ අනික් මිනිස්සුන්ට වඩා වැඩියි' 
(මෙහෙම කියන අය අනිත් අයට පෙන්නන ප්‍රධාන දේ තමයි ඒ අය යුරෝපයට හෝ ඇමරිකාවට හරි ගිය හින්දා තමයි මොළේ වැඩි කියන එක. මේ මොළේ වැඩි මිනිස්සු පස්සෙ යන පෝළිමක් කොළඹ කේන්ද්‍රීයව තියෙනවා.)



 
අපේ ඇඟ අනෙක් මිනිස්සුන්ට වඩා වෙනස්' (මෙහෙම කියන අය අ‍නෙක් අයට පෙන්නන ප්‍රධාන දේ තමයි ඒ අය ජපානයට හරි චීනයට ගිය හින්ද තමා ඇඟ වෙනස් වුනේ කියන එක.මේ ඇඟ වෙනස්  මිනිස්සු පස්සෙ යන පෝළිමක් කොළඹ කේන්ද්‍රීයව තියෙනවා.)



90 ව දශකය වෙනකම් ඉහත A කට්ටිය  සහ B කට්ටිය සමාජය තුළ වැඩ කලේ වෙන වෙනම. නමුත් 90 ව    දශකයේ රූපවාහිනී ටෙලි සංස්කෘතියට පුළුවන් වුණා ඉහත කට්ටි දෙක මුණ ගස්සන්න. ඉතිං මොළේ වැඩි ජයන්ත චන්ද්‍රසිරියි ඇඟ වෙනස් සේනක විජේසිංහයි එකිනෙකාට හමු වුණා.මේ හමු වීමේ ඓතිහාසික සාධක මොකුත් දන්නැති පත්තකාරයෝ මේ හමුවීමට හුළං ගහල උඩ ඇරිය. දැන් මේ දවස් වල ජයන්තයි, සේනකයි ඉන්නෙ අහසෙ. දැන් අපි ඒ දෙන්නව බිමට බා ගන්න ක්‍රමයක් හොයමු.

ඓතිහාසිකය හමුවේ.....

ලංකාවේ සමාජය පුරා තරුණ පරම්පරාවන් අතර  ජනප්‍රිය වෙච්චි ආරම්භක ශාරීරික ක්‍රීඩාවක් තමයි කරාතේ.මේ කරාතේ ක්‍රීඩාවෙන් ඇත්ත ජීවිතයේ ගහ ගන්න අමාරු වුණාට වචන වලින් කරාටි කරනව කිව්වම අනිත් අය බය වෙන නිසා නාගරික තරුණයන් අතර 70 ව දශකය තුළ කරාතේ ජනප්‍රිය වුණා. ක්‍රීඩාවක් වෙච්චි කරාතේ ඉන් පස්සෙ Business එකක් වුණා මේ Business එකට හුඟක් අය පුරුදු වුණාම ටික දෙනෙක් කරාතේ ක්‍රීඩාවේ නිජ භූමිය වන ජපානයට ගියා. ඊට පස්සෙ ජපන් ගිය මාස්ටර්ලා සහ ජපන් නොගිය මාස්ටර්ලා අතර ද්වන්ධ - වාචික සටන් ආරම්භ වුණා. විශාල වේලාවක් ශාරීරික ව්‍යායාම වලට වෙන් වුණු කරාතේ ක්‍රීඩාව ඊට පස්සෙ ඇත්තට ගහගන්න ගියාම ගුටි කන්න වෙන හින්දා පල්ලම් බැහැගන ගියා. 





බටහිර රටවල නිපදවුණු හොංකොං (Hong kong) කුංග්ෆු චිත්‍රපට බටහිර ජනප්‍රිය වූ පසු ඒවා  70 ව දශකය අග වන විට ලංකාවට ද ආනයනය විය. මේ ආනයනය කරන ලද චිත්‍රපටි නැරඹූ රසිකයන් තම ජපන් මාස්ටර්ලාගෙන් 'චීන සටන් ප්‍රහාර' ඉල්ලා සිටිය විට යථාර්තය හමුවේ ඔවුන් නන්නත්තාර විය. ඉහත හොංකොන්ග් චිත්‍රපට වල අඩංගු දර්ශන මන්දගාමී චලන (Slow-motion) ලෙස නරඹා ඒවා ස්වයංක්‍රීයව ඉගනගත් කුංග්ෆු මාස්ටර්ලා ලංකාවේ වයඹ ප්‍රදේශයෙන් මුලින්ම බිහි විය. මීට සමකාලීනව කුරුණෑගල ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයෙකු කුංග්ෆු සටන් ශෛලිය ඉගැන්වීම ආරම්භ කර ඇත.(ඔහුගේ සටන් ශෛලියට ඉන්දීය සම්භවයක් ඇත.) ඉතිං කරාතේ සම්භවයක් සහිත සහ චීන-අඩි (විශේෂයෙන් නැන් චුවාන් වල; චීනයේ දකුණු පෙදෙසෙහි සටන් ශෛලීන්) හි ආභාෂය ලැබූ සහ මාස්ටර් බෲස් ලී ගේ ශෛලිය අනුගමනය කළ මෙම ලාංකික කුංග්ෆු ගුරුවරුන් බිහි වීම ඉන් ඇරඹිනි. මෙම නව ලාංකික කුංග්ෆු සටන් කලාව තුළ කරාතේ පා පහරවල් සහ ජිට් කුන් ඩූ (Jeet Kune Do)  ශෛලියේ වෙස් ගැන්වීම් අඩංගු විය.


 





















චීන ජාතික රාජ්‍යය නමින් වේශ නිරූපණය වූ කුංග්ෆූ සටන් කලාව රට තුළ ජනප්‍රිය වන විට ධනවාදී ආර්ථික ක්‍රමය ලංකාව තුළ මුල් ඇල්ලීම ආරම්භ වී තිබුණි. එබැවින් කුංග්ෆු පන්ති දිගට හරහට 80 ව දශකය තුළ ආරම්භ වූ අතර ඒවායේ ප්‍රධාන ලක්ෂණ පහත දැක්වේ.


1. උගන්වන කෙනා චීනයෙන් ඉගන ගත් බව හෝ චීන මාස්ටර්ලාගෙන් ලංකාවේ දී උගත් බව මාස්ටර්ගේ ප්‍රධාන ගෝලයා ආධුනික ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ප්‍රචාරය කිරීම. ප්‍රධාන මාස්ටර්ගෙන් ඔබේ ‍ශෛලිය කුමක්දැයි ඇසූ විට තමාගේ ශෛලිය' ෂාඔලින් ආරාම ශෛලිය' බව ප්‍රකාශ කිරීම. (යන්නෙ කොහෙද මල්ලෙ පොල් වැනි තත්වයක් මෙම පිළිතුරෙන් පසු උදාවෙයි.)


2. පන්තියේ මාස්ටර් උගන්වන්නේ චිත්‍රපට  වල දක්නට ලැබෙන  පා  පහරවල්, අත් පහරවල්  පමණක් වීම.


3. පන්තියේ ඉගෙන ගන්න එන පුද්ගලයාට සටන් කලාව වෙනුවට ජිම්නාස්ටික් ක්‍රීඩාවට අදාල අමාරු ව්‍යායාම පුහුණු වීමට සිදුවීම.


4. මතවාදී තලය තුළ සටන් කලාව කායික මානසික සංවර්ධනය ලබා දෙන්නක් ලෙස ප්‍රකාශ කරනු ලබන අතර  සංග්‍රාමීය  තලයකදී ඒ තුළ 'සමාජ බලය' සඳහා පුහුණු කරවීම (උදා:ගුරුවරයාගේ ගමන් විලාශය, ඇඳුම, වාහනය, කථාබහ )


 ජීවිතය බවට පෙරළිය යුතු කලාවක්; මිනිසෙකුව තාවකාලිකව වින්දනයකට පත් කරනු ලබන සහ සංකේත බලය පිරිනමන දෙයක් බවට ලාංකීය මාස්ටර්ලා පත් කරයි. 'ඔබේ පාදය ඔබේද? එය එබේ පාදය නම් ඔබට අවශ්‍ය පරිදි චලනය කළ නොහැක්කේ මන්ද? උගන්වන්නේ මාස්ටර් බෲස් ලී ගේ පාදය මෙන් ඔබේ පාදයත් චලනය කර යුතු ආකාරයයි'.මේ ම‍ගේ පාදය මිස මාස්ටර් බෲස් ලී ගේ පාදය නොවන බව ඔබ ඔබේ මාස්ටර් ගෙන් අසා ඇත්ද?


 ඉතින් ඔන්න ඕක තමයි ලංකාවේ 'ජනප්‍රිය' සටන් කලාවේ ඉතිහාසය. වික්ටෝරියානු සුචරිතවාදය උත්තරාරෝපණයක් ලෙස ලංකාව උඩින් වැටුනට විශාල වශයෙන් ගොවියන් ජීවත් වුනු වයඹ ප්‍රදේශය ලිංගික වශයෙන් සාපේක්ෂව වෙනස්. මේ හින්ද වයඹ ප්‍රදේශයේ පිරිමි ශරීර වලට ස්ත්‍රී රිද්මය  මිශ්‍රවෙලා තියෙනවා. චීන සටන් කලාවේ විකෘතියක් ලෙස හරි මුලින්ම වයඹින් මේ කලාව ආරම්භ වෙන්න බලපෑව හේතු ගොඩක් අතරින් මේකත් එක හේතුවක්.


ඒ වුණාට කොළඹ අවට ජීවත් වන ජයන්ත චන්ද්‍රසිරිගේ ඔළුගෙඩියට සාපේක්ෂව වයඹ කියන්නෙ'ගොඩේ' පළාතක්.ඉතින් එයාට අනුව සටන් කලාවන් ලංකාවට ගොඩ බහින්න ඕන කොළඹ වරායෙන් හරි කටුනායක් ගුවන්තොටුපලෙන් හරි.


අපි අතීතයේ දවසකට යමු. 'දඬුබස්නාමානය' රූගත කිරීම  කළ අවධියේ කෑගල්ලට නොදුරු කඳු  මුදුනක් මත  සිට ජයන්ත සහ වයඹ පළාතේ ගොඩයෙකු අතර පැවැති සංවාදය මේ රටට  කවදා හෝ වැදගත් වනු ඇත. මේ  එම ගොඩයාගේ කථාවයි.



'මන්කි ශෛලියේ' මිතුරකුගේ මඟ පෙන්වීම අනුව ජයන්ත චන්ද්‍රසිරි සොයා ගිය අපිට කඳු මුදුනක පිහිටි බංගලාවකදී ඔහු හමු වූයේ මධ්‍යම රාත්‍රී දෙකට පමණ ය. ලාංකේය සටන් කලා ‍ක්ෂේත්‍රයේ වගකීම් සහගත ලෙස වැඩ කටයුතු කරමින් සිටි අපට ජයන්ත චන්ද්‍රසිරි ඔහුගේ ටෙලිනාට්‍ය ක්‍රියාකාරීත්වයට සටන් කලාව එකතු කිරීම ප්‍රශ්නයක් විය. එය ප්‍රශ්න කරන්නට යාමේදී අපට ඔහු හා වාදයකට එළඹීමට සිදු විය.


ජයන්ත ඔහුගේ සටන් කලාව පිළිබඳ මතවාදය(ඔහු කලා පොරක්, ටෙලි පොරක් නිසා)අපගේ ශරීර මත පටවන්නට උත්සාහ කරන ලදී. සටන් කලාව තුළ 'ආයුධය අතට ගැනීම හස්තයට වඩා ප්‍රාථමික' බැව් ඔහුගෙන් ප්‍රකාශ විය. ගස් නැග්ග, ගස් වලින් බැහැපු වානරයෙකුගෙන් පරිණාමය වෙච්ච මිනිසුන්ගේ  ඉතිහාසය තුළ 'හස්තයේ ක්‍රියාකාරීත්වය ආයුධයට වඩා ප්‍රාථමික බැව්' අපගේ තර්කය විය.


කෙසේ හෝ ඔහු ඉන් පසු එම මාතෘකාවෙන් බැහැර වී නොදන්නා 'සෙන් බුදු දහම' ගැන කථා කරන්නට පටන් ගත්තේ  ය. ලංකාවේ අංගම් පොර නම් සටන් ලකාව ගැන පර්යේෂණයක් (?) කළ බව ද ඔහුගෙන් ප්‍රකාශ විය. ඔහු ප්‍රකාශ කළ බොහෝ කරුණු ලංකා ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ධුරය දැරූ  ආචාර්ය ප.එ.ප. දැරණියගල (පෝල් එඩ්ව්ඩ් පීරිස් දැරණියගල) මහතාගේ 'සිංහල ත්‍රාසජනක ක්‍රීඩා' නම් පොතෙන් උපුටාගත් ඒවා වේ.(සමහරවිට ජයන්ත චන්ද්‍රසිරිගේ පර්යේෂණ අනුර හොරේෂස් ගේ ගිනි අවි සහ ගිනි කෙළි වර්ගයේ ඒවා විය හැක.) අවසානයේ අපි ඔහුට මෙසේ කීවෙමු. ලංකාවේ සටන් කලා ක්ෂේත්‍රයට ඔබ කරන දේ බලපානවා. එය ඔබ වගකීමකින්ද කරන්නේ? එයට ඔහුගෙන් පිළිතුරක් නොලැඹුනි.

 ටික කාලයක් ගත විය.

ලංකාවේ විවිධ පුවත් පත් වල ඕෆ්සෙට් අතිරේක වල මනරම් අනුග්‍රහය ලද පසු (ඉන් බොහෝ ලිපි වල හුවා දැක්වුනේ ජයන්තගේ සටන් කලා දැනුමයි.) රූපවාහිනී ජාතික සේවාවෙන් 'දඬුබස්නාමානය' විකාශනය විය. 'ලංකාවේ අංගම් පොර' කියා චීන සටන් කලාව සහ චීන අඩි JVC  සහ 
SONY  පටිගත කිරීමේ යන්ත්‍ර වල ආනුභාවයෙන් විචිත්‍ර සිහිනයක් බවට පත් කරන ලදී. ටෙලි නාට්‍ය  යනු රචකයා විසින් ගොඩනගන යථාර්තයයි. එය සත්‍ය හෝ අසත්‍ය දැයි කිසිවෙක් සිතන්නට උත්සාහ නොකරන දෙයයි. එබැවින් 'සැබෑ අංලම් පොර' වෙනුවට වෙනත් දෙයක් පෙන්වීමට කලාකරුවෙකු ලෙස ජයන්තට ඇති අයිතිය අපි පිළිගන්නෙමු. ඒ ගැන කිසිදු ගැටළුවක් ඒ නිසා අප තුළ පැන නගින්නේ නැත.



නමුත් අපට 'සටන් කලාව' වෙනුවෙන් වෙනත් ප්‍රශ්ණයක් ඇත. 



'දඬුබස්නාමානය' රූපවාහිනියේ අහවර වුනේ නිකම්ම ‍නොවේ. ඊට දායක වූ බොහෝ නළු නිළියන්ට විශාල සංකේත ප්‍රාග්ධනයක් ලබාදීමෙන්ද අනතුරුව ය. එහි ගුරුවරයාගේ භූමිකාව නිරූපණය කළ බුද්ධදාස විතානාච්චි ජාතික රූපවාහිනයට ඇතුළු විය. එහි සටන් කලා අධ්‍යක්ෂක හා භූමිකාවක් පණ පෙවූ සේනක විජේසිංහ නව සංකේත ප්‍රාග්ධනයක් ද රැගෛන සටන් කලා ‍ක්ෂේත්‍රයට පිවිසියේ ය.


මේ කුරුණෑගල ඔහුගේ සටන් කලා පන්තිය පටන් ගැනීමට සහභාගි වූ නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියූ ඔහුගේම වචන.......

"ලංකාවේ ඉන්න මිනිස්සු සම්ප්‍රදාය බිඳින්න බයයි. මම සම්ප්‍රදාය බිඳපු කෙනෙක්. මම තමා ලංකාවේ අනාගත බෲස් ලී. ඔයාලට (පැමිණ සිටි නවකයන්ට) කවදා හරි දැන ගන්න ලැබේවි මම ඉන්න තැන. මම අද වෙනකොට ජීවිතේ අරමුණු ගොඩාක් දිනාගෙන ඉන්නෙ. මම තවත් ටෙලි නාට්‍ය කිහිපයක් අනාගතයේ කරනවා. ඒ සඳහා දක්ෂයන් මේ පන්ති තුලින්මයි ගන්නෙ. ඔයාල තීරණය කරන්න අද ඔයාලගෙ ඉදිරිය ගැන. අනික මම කරන්නෙ මගෙ ශෛලිය. මේක සේනක විජේසිංහගේ ශෛලිය. ඒ නිසා මේක ගැන කවුරු හරි මගෙන් ප්‍රශ්ණ කරනව නම් මට තද වෙනවා. ‍මම හීන දකිනවා හොලිවුඩ් පුරයට ගිහින් හොලිවුඩ් නළුවන්ට ගහන්න. මම දන්නවා මගේ ජිට්-කුනේ-ඩු කලාව තුලින්, මම තුලින් නිකුත් වෙන හැම පහරක් තුළම බෲස් ලී ගේ නියම හැඩය තියෙනවා.


මම අනාගතයේදී ලංකාවෙ මකුණන් විනාශ කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒක නිසා කන හෝ නොකන මකුණෝ කියල විශේෂයක් නැහැ අනිත් අය ඒක දැනගත යුතුයි. මකුණෝ වඳ කරන්න මම පියවර ගන්නවා.


(කුරුණෑගල ඇත්කඳ විහාර ශාලාවේදී සටන් කලා පන්තියක් ආරම්භ කිරීමට පෙර නවකයන් ඉදිරියේ පැවැත්වූ දේශණයෙන් කොටසක්.....) 



මේ ලිපියේ කලින්ම අපි කිව්ව මිනිස්සු කොට්ඨාශ දෙක එකතු වුණාම වෙන්න පුළුවන් දේවල් තමයි සේනක විජේසිංහ ලා ගෙ කටින් පිට වෙන්නෙ. සරලව කිව්වොත් ටෙලි නාට්‍ය කියන සිවිල් ක්ෂේත්‍රයට ඇතුල්වෙන කෙනෙකුට සමාජය ගසා කන්න පුළුවන්. ඒ ගසා කෑම චන්ද්‍රසිරි ලා වර්ගයේ අය බුද්ධිමය ආකාරයට කරන අතර විජේසිංහ වර්ගයේ අය ශාරීරික ආකාරයට කරයි. 'දඬුබස්නාමානය' පුම්බපු කිසිම ජනමාධ්‍යකාරයෙක් කොළඹින් සැතපුම් පනහක් ඈත ප්‍රදේශවල ජනයාට සහ ඔවුන්ගේ දූ දරුවන්ට සිදුවන දෙය ගැන වගකීමක් ගන්නෙ නැත. විවෘත ආර්ථිකය තුළ කලා වෙළඳපොල විවෘත වී ඇත.


 මූලික වශයෙන් චීන සටන් කලාව 'කුංග්ෆු' යන නමින් හැඳින්වීම පවා වැරදියි. මොකද චීනය තුල කුංග්ෆු යන වචනයට අදාල අර්ථය 'හැකියාව' (Skill) වර්ධනය කිරීමයි. චිත්‍ර ශිල්පියෙකු චිත්‍ර කලාව තුළ තම දක්ෂතා වර්ධනය කර ගත් විට 'කුංග්ෆු' වර්ධනය කර ගත්තා යන අරුතින් හැඟවේ. ඇත්තටම චීනයේ හරිම වචනය Gong fu) මේ වචනය යුරෝපයට වැරදි යෙදුමකින් යුක්තව 16 වන සියවසේදි රැගෙන ආවේ මිෂනාරී පූජකයෙකු විසින්. අද අපි දන්නා 'කුංග්ෆු' නම් වචනය හොංකොං වෙළඳ පුරය තුළ වාණිජ අරුතින් ලබා ගත්තකි. (1940-1973 අතර කාලය තුළ) මෙම වචනය ලෝක මට්ටමින් ප්‍රචලිත වීම ඇරඹුනේ බෲස් ලී නම් සටන් නළුවා ජනප්‍රිය වීමෙන් අනතුරුව ය. ඉන් පසු මෙම කුංග්ෆු යන වචනය බොහෝ ඉංග්‍රීසි ශබ්දකෝෂ වලට ඇතුල් විය. ඔවුන් එය හඳුන්වන්නේ චීන වර්ගයේ ආත්ම ආරක්ෂක ක්‍රමයක් ලෙස ය. වූෂු (Wushu) යන වචනය චීන සටන් කලාව සඳහා වඩාත්ම යෝග්‍ය වචනයයි. මීට අමතරව චීන සටන් කලාව ප්‍රධාන වශයෙන් බාහිර (External) සහ අභ්‍යන්තර (Internal) වශයෙන් පුහුණු වන ප්‍රභේද දෙකක් ඇත. සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ චීන සටන් කලා 'කඩ'  වලදී පුහුණු විය හැක්කේ බාහිර ප්‍රභේදයයි. නමුත් අභ්‍යන්තර වශයෙන් චී ශක්තිය (Qi) දියුණු කර ගත හැකි සටන් කලාවක් ඉගෙන ගැනීමට පරිණත ගුරුවරයෙකු සොයා ගත යුතු ය.  
                         
  ගඩොල් සහ උළු කැට කැඩීම සටන් කලාවට සම්බන්ධයක් ඇති දෙයක් නොවේ. අභ්‍යන්තර වශයෙන් චී ශක්තිය දියුණු කරන සටන් කලාවක් සමඟ චීන වෙදකම ද හැදෑරිය යුතු ය. ඉන් පසු භාවනාව මගින් 'මාන' ශක්තිය දියුණු කර ගත යුතු ය. එසේ නොමැතිව පුහුණු වන ඕනෑම සටනක්, කලාවක්, පද්ධතියක් ලෙස අසම්පූර්ණ ය.

අපට අවසාන වශයෙන් කිව හැක්කේ ටෙලි නාට්‍ය වල රඟපෑ නළුවන් ලඟ සටන් කලාව ගැන ගැඹුරු වැටහීමක් ඇතැයි පවසන්නේ තරුණයා, රිද්ම, මීවිත වැනි පත්තර පමණක් බවයි. මේ පත්තර වලට ලියන මහත්වරු සටන් කලාව තබා තමන්ගේ පුවත් පත් කලාව ගැනවත් හරි හැටි දැනුමක් ඇත්තවුන් නොවේ. එබැවින් චන්ද්‍රසිරි ලා ගේ ටෙලි නාට්‍ය වල ඇති සටන් කලාවන් සහ සැබෑ ලෝකයේ සටන් කලාවන් අතර වෙනස නලින්ද සිල්වා සහ සීවලී රත්වත්තේ අතර වෙනස තරම් පුළුල් ය.


කමල් චන්ද්‍රදාස

  ' මාතොට' සඟරාවේ 1997 සැප්තැම්බර් කලාපයේ පල වූ ලිපියකි.  


 මෙම ලිපිය උපුටා ගැනීමේදී සමස්ත ලංකා වූෂු සහ චිගොන්ග් සංසදයේ බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලද බව සඳහන් කිරීමට කාරුණික වන්න. එසේම වෙනස් අර්ථයන් ඇති වන සේ මෙම ලිපි වල කොටස් උපුටා පළ කිරීමෙන් වලකින්න.
     

5 comments:

  1. මම උගන්වන්නේ බෲස්ලී ගේ සටන් කලාව
    සේනක විජේසිංහ

    පසුගිය කාලය ඇතුළත කලාවෙනුත් සටන් කලාවෙනුත් මඳක් ඈත්වුණු ස්වරූපයක් අපි දැක්කා?

    ඇත්තටම ඒකට හේතු වුණේ පසුගිය අවුරුදු 02 - 03 ඇතුළත මම රට වෙනුවෙන් කලාකරුවෝ ජාතික සංවිධානය හදලා ජනාධිපතිතුමා සහ රට වෙනුවෙන් කටයුතු කරන්න කැපවුණා. ඒ නිසා මගේ සටන් කලා පන්ති එහෙමම අතපසු වුණා.

    ඔබ සටන් කලාව ඇසුරු කරන්නේ දැනට අවුරුදු 20 කට විතර ඉහතදී නේද?

    ඔව්. අවුරුදු 23 ට කලින්. මගේ සටන් කලා ආයතනය වන jeet-kun-do විද්‍යායතනය ආරම්භ කළේ 1987 දී. ඊට පස්සෙ මම ලංකාව පුරාම සටන් කලා පන්ති කරගෙන ගියා. මගෙන් බිහිවුණු දක්ෂ ශිල්පෟන් රැසක් ඉන්නවා. මම ඉගැන්නුවේ 60 දශකයේ බෲස්ලී නිර්මාණය කරපු jeet-kun-do ශිල්පයයි. ඒ සමඟම ශිල්පයේ සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරව විද්‍යාත්මක සටන් කලාවක් ලෙස එය වර්ධනය කරන්න මම උත්සාහ ගත්තා.

    ඔබ කලාවට සම්ප්‍රාප්ත වන්නේත් සටන් කලාව නිසා නේද?

    ඔව්. 1992 දී “දඬුබස්නාමානයෙන්” තමයි කලාවට එක්වෙන්නේ. ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණාට පස්සෙ මගේ සටන් කලා පන්තිත් දිනෙන් දින වර්ධනය වෙන්න පටන් ගත්තා.

    පසුගිය කාලය ඇතුළත ඉන් බැහැරවීම ඔබ කළ වරදක් විදියට ඔබට දැනෙන්නේ නැති ද?

    ඇත්තටම මම පිළිගන්නවා මම අතින් වරදක් වුණා කියලා. ඒ මොකද මගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වගේම සටන් කලාවටත් වරදක් වුණා කියලා. ඇත්තම කිව්වොත් මම, දේශපාලනඥයෙක්, නළුවෙක්, ගායකයෙක්වත් නොවෙයි. සේනක විජේසිංහ කියන්නේ සටන් කලා ගුරුවරයෙක්. මම කවදහරි මැරෙන්න ඕනත් සටන් ශිල්පියෙක්, ගුරුවරයෙක් හැටියට.

    ඔබ දැන් සූදානම් වෙන්න ඒ වරද පිළි අරගෙන නැවත සටන් කලා පංති ආරම්භ කරන්න ද?

    ඔව්. දැන් මම සටන්කලා පන්ති ආරම්භ කරල තියෙන්නෙ. පසුගිය කාලය පුරාම මට ඉල්ලීම් ලැබුණා. නැවත පන්ති ආරම්භ කරන්න කියලා. මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් බලාගෙන ඉන්නවා පන්ති පටන් ගන්නකම්. මේ පන්ති සඳහා සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නේ කොළඹ අවට අය විතරක් නොවෙයි. ත්‍රිකුණාමලය, හම්බන්තොට වැනි ඈත පළාත්වලින් පවා ශිෂ්‍ය ශිෂ්‍යාවන් බලාගෙන ඉන්නවා එන්න. ඇත්තටම පසුගිය කාලේ මම මගේ දක්ෂතා, වටිනාකම් අමතක කරලා හිටියේ.

    www.silumina.lk/2010/08/15/_art.asp?fn=av1008153

    Thank You Senaka

    ReplyDelete
  2. ප්‍රසන්න ජයවීරගේ සටන් කලා භාවිතය ගැන බ්ලොග් හිමිකරුගේ අදහස මොකද්ද?

    ReplyDelete
    Replies
    1. http://www.wushulk.blogspot.com/2010/08/blog-post_20.html

      Delete
  3. "ඔහු ප්‍රකාශ කළ බොහෝ කරුණු ලයනල් දැරණියගල මහතාගේ 'සිංහලයේ ත්‍රාසජනක ක්‍රීඩා' නම් පොතෙන් උපුටාගත් ඒවා වේ."

    ලයනල් දැරණියගල කියන්නේ පොත් ලියපු කෙනෙක් නෙමෙයි, නළුවෙක්. පොතක් ගැන quote කරනව නම් ඒකෙ කර්තෘ ගෙ නම හරියට දාන්න. මේ කියන පොත ලිව්වෙ මහාචාර්ය පෝල් දැරණියගල.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස අගය කරමු. ඔබ පැවැසූ තොරතුර නිවැරදි ය. අප අපගේ පැත්තෙන් වූ අතපසු වීම නිවැරදි කළෙමු. ස්තූතියි!

      http://www.divaina.com/2011/06/29/badada01.html

      Delete